හතරවන කොටස

කෙසේ හෝ පරිගණක පාඨමාලාවද නිම විය. ඒත් ෂෙල්ටන් උගත් දෙයක් නොවීය. "මොකද්ද උඹට වෙලා තියෙන්නේ? කියපන් බලන්න මට? එක්කො උඹ කවුරු හරි ගෑණු ළමයෙවත් යාළු කරගෙන ඒ ගැනවත් හිත හිතා ඉන්නවාද?" ලොකු තාත්තා ඔහුගෙන් සෘජුවම විමසීය. ෂෙල්ටන් "නැත" යන්නට හිස සැලුවා පමණි. ඔහුගේ ස්වභාවය අනුව ඔහු එවැන්නකට යොමු වී නැති බව බණ්ඩාරනායක මහතාටද වටහා ගැනීමට අසීරු නොවීය. "උඹට එක්කො භූතයෙක් වැහිලා ඇති. මළගිය ප්‍රාණකාරයෙක්"

ලොකු තාත්තා එසේ කියද්දී ෂෙල්ටන්ට හදිස්සියේම සිහිපත් වූයේ තමන්ගේ මවය. ඇය ගිනි ජාලාවකින් වැසී ගෙන ඇවිදින ගින්නක් මෙන් තමන්ගෙන් සහ නංගිගෙන් මිදී දිව ගිය අයුරු ඔහුගේ යටි සිත තුළ අනේක වාරයක් හොලමන් කරමින් තිබිණ. මවගේ ආත්මය තමා පසු පසින් වැටී ඇති බවක් ඔහු නොසිතුවත් මව ඒ ගින්නෙන් කොපමණ දැවෙන්නට ඇත්දැයි සිතන මොහොතක් මොහොතක් පාසා ඔහුට දැනුණේ සියොළඟධ ගින්නේන් දැවෙන්නාක් මෙනි. මොන දේ අමතක කලත් මේ කම්පාව ඔහුට අමතක කළ හැකි වූයේ නැත.

"මේ බලපං ෂෙල්ටන් විවෘත විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු පාඨමලාවට ඇප්ලිකේෂන් කෝල් කරල. මේකට ඉල්ලපං. මේ වගේ කෝස් එකක් කළොත් උඹට වරදින්නේ නෑ. උඹ පවුලේ වැඩිමලා. උඹේ ඇස් දෙක පාද ගත්තොත් අනික් උන්ටත් හොඳ කලක් යයි. මාත් මේ වීරිය කරන්නේ ඒකට තමයි. හොඳ රස්සාවල් ඕනෙ තරම් තියෙනවා මේ කෝස් එක හරිට කලොත්." ෂෙල්ටන් ලොකු තාත්තා ඉදිරියේ යළිඳු නිරුත්තර විය. තමාගේ චිත්ත ශක්තිය පුබුදුවා විමුක්තිය සොයා ගැනීම තුළින් සෙස්සන්ටද විමුක්තිය සළසා දීමේ අරමුණක් තමා තුළ ඇති බව පැවසුවොත් ඔහු කෝප ගැන්වෙනු නියතය. ඒනිසාම මෙවරත් ෂෙල්ටන් ලොකු තාත්තාට කීකරු විය.

ගුරු වෘත්තියෙහි නියුක්ත එක් උපාධිධාරී භික්ෂූන්වහන්සේ නමක් නාලන්දාරාමයට ඉඳහිට දිනෙක වඩින්නට වූයේ මේ කාලයේදීය. නාලන්දාරාමයේදී තමාට මුණගැසුණු බොහෝ භික්ෂූන් වහන්සේලාට වඩා වෙනසක් සුවිශේෂත්වයක් මෙම භික්ෂූන් වහන්සේ තුලින් ෂෙල්ටන්ට දැකිය හැකි විය. එම හිමියන් පැවසූ බොහෝ දේ ෂෙල්ටන්ට දැනුනේ තමන් ඉදිරියේදී යාමට බලාපොරොත්තු වූ මාර්ගයට අනුකූල වූ සෙයකි.

"දැන් ලෝකයේ වෛද්‍ය විද්‍යාව කියන එක ඉතාමත් ඉහළ මට්ටමකට දියුණු වෙලා තියෙනවා. ඒත් ලෝකෙ මිනිස්සුන්ගේ රෝග වල අඩුවක් නෑ. දවසින් දවසම රෝග වැඩිවෙනවා විතරක් නෙමෙයි අළුත් අළුත් ලෙඩ රෝග බිහි වෙමින්ද පවතිනවා. මේ හින්දම ලෝකයේ දියුණු රට වල සිදු කෙරෙන වෛද්‍ය විද්‍යා පර්යේෂණවලටත් වඩා ඉහල මට්ටමේ පර්යේෂණ පැවැත්වෙනවා මේ සොභාදහමේ නියාමයන් විද්‍යාව මගින් පාලනය කරන්න පුළුවන්ද කියන එක ගැන සොයන්න" උන් වහන්සේ කීහ. "ඒක තමයි ස්වාමීන්වහන්ස මාත් මේ කල්පනා කරන්නේ. ඇත්තෙන්ම ලෝකයේ හැම දෙනෙක්ම හිතන්නේ භෞතික දියුණුව ගැන විතරයි. අද මිනිස්සු අධ්‍යාත්මික දියුණුවක් ගැන හිතන්නේ නෑ. ඒත් මිනිස් සිත දියුණු කර ගැනීම තුලින් මේ හැම දේකටම ප්‍රතිකර්ම හොයා ගන්න පුළුවන් කියන එක ගැන කවුරුවත් හොයන්නේ නෑ. මට හිතෙනවා හාමුදුරුවනේ හිත දියුණු කරගැනීමේ මර්ගය ගැන හොයන්න."

"ඔව්, ඒක බොහෝම හොඳ දෙයක්." එම භික්ෂූන් වහන්සේ ෂෙල්ටන්ට කීහ.

5 comments:

  1. අයියා ඔන්න මමත් කතාව කියවන්න පටන් ගත්තා..

    ReplyDelete
  2. හොඳයි හොඳයි කියවගෙන යන්නකෝ නංගි එහෙනම්, ඔබතුමිය කියවන්න පටන් ගත්තේ අද සිට මුලටද? :)

    ReplyDelete
  3. මම අද සිට මුලටයි.. අග සිට මුලටයි.. මුල සිට අගටයි.. මැද සිට මුලටයි.. කියවන්න පුළුවන් හැම විදිහටකමට කියෙව්වා.. ඔන්න අයියගෙ මේ බ්ලොග් අඩවියේ ලිපිනයත්, මම මගේ බ්ලොග් අඩවියේ දැම්මා.. කතාවේ අලුත් කොටසක් එකතු වුණාම එතකොට මට ලේසියෙන් පේනවානේ.. ;)

    ReplyDelete
  4. හොඳයි, හොඳයි... බොහොම ස්තුතියි නංගි.

    ReplyDelete
  5. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුලුවන් නම් කමෙන්ට් කරන්න පහසුවක්

    ReplyDelete