දහඅටවන කොටස

දාර්ශනික සිරි ගැමුණු නමින්, හැඳින්වුණු වාද්දුවේ ක්‍රියාත්මක වූ මෙම සංවිධානය බුදු දහමට අනුකූල වුවක් නොව, බුදු දහම් ඇසුරෙහි වැදුණු මිත්‍යා සම්ප්‍රදායන් ගොන්නකින් සැදුම් ලත් එකක් විය. ඔවුහු බොහෝ විට බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමියන් සිය ජිවිතයේ අවසන් භාගයේදී පළකළ පොත්පත් වල අඩංගු වූ භාරතයේ නදී වක්‍යම්, කතරගම දෙවියන් සියැසින් දැකීම වැනි දේවල් මෙන්ම ශරීරයෙන් වෙන්වුණු සිත අවකාශ ගත වී යාම නැතහොත් ශරීරයෙන් ද්විතියික ශරීරයක් ලෙසින් පිටවීම වැනි දෑ තමන් හට අභිමත අර්ථකථන දෙමින් පිළිගත්හ.

එසේම බු. ව. 2500 දී බුද්ධාගම නගා සිටුවීම සඳහා මෙලොව පහල වීමට නියමිතව සිටියේ යැයි කියනු ලැබූ දියසේන කුමාරයා පිලිබඳ සංකල්පය ද ඔවුන් තදින්ම විශ්වාස කල අතර ගෙවී ගිය බු. ව. 2500 දී (එනම් ක්‍රි. ව. 1956) එවැන්නෙකු පහළ නොවුයෙන් ක්‍රි. ව. 2000 දී ඔහු පහළ වනු ඇතැයි ඔවුහු තදින්ම විශ්වාසය පළ කළහ. එසේම ශ්‍රී පාද අඩවියය ආසන්නයේ මතු අනාගතයේ දුටුගැමුණු රජ පහළව බුදු සසුන සහ රට ජාතිය බේරා ගන්න බවටද ඔවුන් තුල තද බල විශ්වාසයක් පැවතිණි.

මේ අනුව බලන කල තනිකරම මිත්‍යා විශවාස වලින්ම පිරි මිත්‍යා ආකාරයක් ලෙස හැදින්විය හැකි මෙම දාර්ශනික දුටුගැමුණු සංවිධානයට සාමාන්‍ය පුද්ගලයන් සේම ව්‍යාපාරිකයන්, නීතිඥයන්, ආයුර්වේද වෛද්‍යවරියක් ආදී වශයෙන් සමාජයේ පිළිගැනීමට ලක් වූ වෘත්තීන් හි යෙදෙන කිහිප දෙනෙකුම සම්බන්ධ වී සිටියහ.

ඔවුන් යමක් පිලිබඳ තීරණ ගැනීමේදී චිත්තයන් විමසීම යනුවෙන් අනුගමනය කරන එක්තරා පිළිවෙතක් තිබිණි. මෙහිදී සිදුවන්නේ අදාල තීරණ ගැනීමට ප්‍රථම තම යටි සිතට එබී බැලීමකි. නුතන මනෝ විද්‍යාවේ සරල සිධාන්තයක් වන මෙයින් සිදු වන්නේ ස්වයං මෝහනයක් තුලින් යටි සිතට එබී බලා තීරණ ගැනීමයි. නමුත් මෙහි සත්‍ය තාවයක් නැත. එසේ වුවද ඔවුහු මේ ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර කිරීමට පවා පෙළඹී සිටියහ. සංවිධානයේ කාගේ හෝ පවුලේ කෙනෙකු අසනීප වූ විට මෙම යල්පැන ගිය සරල මනෝ විද්‍යාත්මක සිද්ධාන්තය උපයෝගී කර ගනිමින් බෙහෙත් නියම කරන ඔවුන් ප්‍රතිකාර සඳහා කොහොඹ කොළ යුෂ බිමට දීම වැනි ක්‍රමද අනුගමනය කල බව පෙනේ.

චන්න මහත්තය සහ සුදර්ශත් අහම්බෙන් ගොස් සම්න්ධ වී තිබුනේ මෙවැනි මිත්‍යා ආකල්ප වලින්ම පිරි සංවිධානයකටය. එහෙත් හිමාලයේ ගොස් බවුන් වැඩු බවට තමන් විසින්ම කියා පාමින් සිටි චන්න මහත්තයාත් විමුක්තිය සොයමින් හිතුවක්කාර ගමනක යෙදී සිට ඒ පිළිබඳව කිසිදු වැටහීමක් නොතිබූ සුදර්ශටත් මෙය පෙනුනේ ජීවමාන සෘෂිවරුන් වැඩසිටින සංවිධානයක් ලෙසිනි. ඔවුන්ට ඒ පිලිබඳ කිසිදු සැකයක් හෝ අවිශ්වාසයක් නොතිබුණු අතර සංවිධානයේ සියලුම ආකල්ප ඔවුහු හිස් මුදුනෙන් පිළිගත්හ. එහෙත් සාමාජිකයන් එකිනෙකාගේ අදහස් සමහර විට පරස්පර විරෝධී බවක් දැක්වූ අතර මෙය දිවයිනේ කිසිදු ආකාරයකින් ලියාපදිංචි සංවිධානයක් ද නොවීය. එසේම ඔවුන්ගේ මේ අදහස් හා ක්‍රියාවලින් අනුව එය බොහෝ විට මයා රෝග තත්වයන්ට මුල්වන සංසිද්ධින්ගෙන් යුතු ක්‍රියාවලියක් බව පැහැදිලි විණි.

මෙසේ කිසියම් අරමුණක් මිස පැහැදිලි මාවතක් නොතිබි අහඹු ලෙස මෙම සංවිධානයට අවතීර්ණ වූ සුදර්ශට ඊට සම්බන්ධව වැඩි දවසක් යන්නට මත්තෙන්ම දර්ශක යනුවෙන් තනතුරක්ද ලැබිණි. සංවිධානයේ ය සිතන්නට ඇත්තේ සුදර්ශ ඉතා පැහැදිලි මාවතක් සහ අරමුණක් ඇති කෙනෙකු වශයෙන් විය යුතුය. සැබවින්ම සුදර්ශ මෙය කිසිසේත් අපේක්ෂා නොකළ තත්වයකි. ඔහු ද විමුක්ති මාර්ගයට එළඹීම සඳහා දර්ශනයක් සොයා යන ගමනේදී සිදු වූ අහඹු ගොඩවැදීමක්  පමණි. එවන් අවස්ථාවකදී ඔහු දර්ශක යන තනතුරකින් පුදනු ලැබුවේ නම් මේ සංවිධානයටත් ඒ වන විට කිසියම් දර්ශනයක් සොයමින් සිටි බව නිසැකව සිතිය හැක.

චන්න මහත්තයා පිළිබඳව තොරතුරු ඇසු ඔවුහු බුද්ධිමතා යනුවෙන් තනතුරක් ඔහු වෙනුවෙන්ම අලුතින් නිර්මාණය කර දුන්හ.

බාහිර ස්වරුපය කෙසේ වුවද දිගු කලක් එංගලන්තයේ ජිවත් වීම, වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකු ලෙස වසර ගණනක් සේවය කොට තිබීම සහ මෙම කරුණු දෙක මතින්ම විසල් තැන්පත් ධනයකට හිමිකම් කීම යන මේවා මේ අලුත් තනතුර සඳහා හේතු පාදක වන්නට ඇත. චන්න මහත්තයා සිරිගැමුණු සංවිධානය පිළිබඳවත් කොතෙක් පැහැදුණේ දැයි කිවහොත් තම පෞද්ගලික ධනයෙන් රු. ලක්ෂ හතලිහක මුදලක් සංවිධානය වෙනුවෙන් ලබා දීමට එකඟ විය. ඒ අනුව සුදර්ශ හා සංවිධානයේ තවත් කෙනෙකු නමින් හවුල් ගිණුමක් වශයෙන් එය බැංකුවේ තැන්පත් කෙරිණි.

No comments:

Post a Comment