තුන්වන කොටස

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් ෂෙල්ටන් ඉන්පසු තම පාසල් දිවියට ආයුබෝවන් කීවේය. මේ සියළු දෙය නිෂ්එල දේවල් ලෙස ඔහුට පෙනුනා විය හැකිය. කෙසේ වෙතත් ෂෙල්ටන්ගේ ලොකු තාත්තා කෙනෙකු ඔහුව තම නිවසට කැඳවා ගෙන ගොස් නතර කර ගනු ලැබුයේ පිරිමි දරුවෙකු නැති අඩුව පිරිමසා ගැනීමටත්. මව නැති මේ අසරණයාට යම් උපකාරයක් කිරීමේ අදහස ඇතිවය.

ලොකු තාත්තා ෂෙල්ටන්ව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා ඉංග්‍රීසි පංතියකට ඇතුලත් කලේය. බණ්ඩාරනායක මහතාගේ සියළු අපේක්ෂාවන් නිෂ්එල කරමින් ෂෙල්ටන් සිය ඉංග්‍රීසි පාඨමාලාව අසාර්ථක කරගෙන තිබිණි. නමුත් ඉන් අධෛර්යමත් වන්නට තරම් බණ්ඩාරනායක මහතාගේ හිත ලාමක වූයේ නැත. ඔහු යළි ඒ පිළිබඳව සිතන්නට විය. ඊළඟ සියවස වන විට පරිගණකය අප රටට නැතිවම බැරි භාණ්ඩයක් වන බවට කිසිදු සැකයක් නැත. මේ අනුව අනාගතයේ හොඳ රැකියාවක් කිරීමට නම් පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වීමද වළක්වනු නොහැකිය. එනිසා බණ්ඩාරනායක මහතා ඒ පිළිබඳව සොයා බලන්නට උනන්දු විය. කොළඹ 02, ගංගාරාමයේ පරිගණක පාඨමාලාවකට ෂෙල්ටන්ව ඇතුළත් කිරීමට බණ්ඩාරනායක මහතා ඊළඟට පියවර ගත්තේය.

ලොකු තාත්තාට “බැහැ” යි කියන්නට බැරි කමට ෂෙල්ටන් ද ගංගාරාමයට ගියත් ඔහුට මෙය පෙනුණේ මහත් වූ නිෂ්එල කාරියක් ලෙසිනි. මේ සියළු දෙයින්ම කෙරෙන්නේ පුද්ගලයෙකු භෞතික දියුණුව සඳහා මග පාදා දීමකි. එහෙත් තමා සොයමින් සිටින්නේ එවැන්නක් නොවේ. හුදෙක් අධ්‍යාත්මක විමුක්තියකි එසේ නම් මින් මා වැන්නෙකුට ඇති එලය කුමක් දැයි ඔහුට අනේක වාරයක් සිතෙන්නට විය. පරිගණකය යනු කෘතිම මිනිස් මොළයකි. තමන්ගේ මොළයෙන් පරිගණකය නිපදවූ මිනිසා එමගින් තමාගේ මනසේ බර සැහැල්ලු කර අස්වැසුමක් ලැබීමට ඉටාගෙන ඇත. ඒ උදෙසා තමන්ගේ කටයුතු සෑහෙන්න කොටසක් ඔහු මෙම කෘතිම මොළයට පවරා තිබේ. එහෙත් මෙවැනි යන්ත්‍ර මගින් කිසිවිටෙකත් මිනිසාගේ අධ්‍යාත්ම ශක්තීය දියුණු කර ගැනීම උදෙසා ප්ටිවහලක් ලැබෙන්නේ නැත. හැරත් මිනිස් මනසේ ශක්තිය යන්ත්‍රයකට දෙවැනි කිරීම ලජ්ජාසහගත දෙයක් ලෙස ඔහු කල්පනා කළේය.

සැබවින්ම මේ සියලුම දේවල් අතිශයින් නිෂ්එල කාර්යයන් නොවන්නේද? ෂෙල්ටන් තමා සමග තනිව සිනාසුණි. ඔහු යන්නන් වලේ ගංගාරාමයට ගියේය. එහෙත් උගත් දෙයක් නැත. පන්තියේ නියමිත කාලසීමාව නිම වූ පසු යලිදු ආපසු හිස් මනැසින් නාලන්දාරාමයේ සිය නවාතැනට පැමිණියේය. තමන් සොයනුයේ ආධ්‍යාත්මික පිපාසය සංසිඳුවන දෙයකි. එහෙත් දැන් තමන් අභිමුවෙහි ඇත්තේ හුදෙක් මිරිඟු දියක් පමණි. සමහර දිනවලට පන්තියේ නික සිටින්නට අලසකමක් දැනුණොත් ඔහු ගිය පයින්ම ආපසු පැමිණෙන්නටද පුරුදු වුණි.

"මොකද බං උඹ ගියේ නැද්ද පන්තියට" ලොකු තාත්තා ප්‍රශ්න කරද්දී ඔහුගේ මූහුණ බලා සෘජුව ඇත්ත පවසන්නට තරම් දිරියක් ෂෙල්ටන් සතුව නොතිබිණි. "අද සර් ඇවිත් නෑ" ඇත්ත කිව්වොත් ලොකු තාත්තාගේ සිත තැලෙන්නට ඉඩ ඇති බැවින් ඔහු බොරුවක් කීවේය. මාසයකට දවස් කීපයක්වත් ඔහු මෙලෙස ආපසු ගෙදර ඒම පුරුද්දක් කර ගත්තේය. ෂෙල්ටන් බොරුවක් කරනවා විය යුතු යැයි බණ්ඩාරනායක මහතාටද නොසිතුනා නොවේ. "උඹ නම් මොනවා කරනවද කියල මට නම් තේරෙන්නේ නෑ" ඔහු ෂෙල්ටන්ට ඇසෙන්නට කීවේ හිතේ උපන් වේදනාවෙන් යුතුවය.

2 comments:

  1. මට මතක් වෙනවා 'Into the Wild' චිත්‍රපටිය!

    ReplyDelete
  2. හරියට හරි මචං, එක ගැන මම ලියපු විස්තරයක් තියෙනවා මෙතන.
    http://manuthapaya.blogspot.com/2008/10/blog-post_01.html

    ReplyDelete