දහතුන්වන කොටස

ෂෙල්ටන් මල්වානේ විමලවීර නම් තම මිතුරෙකු සමග
ෂෙල්ටන් මල්වානේ විමලවීර නම් තම මිතුරෙකු සමග
ව දුරටත් විවෘත විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු පාඨමාලාව හැදෑරීම සඳහා සුළු හෝ වුවමනාවක් තිබිණි නම් එයද මේ වන විට ෂේල්ටන්ගේ සිතින් සහමුලින්ම ඉවත්ව තිබිණ. තමා ඉදිරියට යාමට අපේක්ෂිත අධ්‍යාත්මික පක්ෂයෙන් මුළුමනින්ම පරිබාහිර වූ මෙවැනි ශිල්පයක් හැදෑරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? දැන් ඉතින් විවෘත විශ්ව විද්‍යාලයෙන් නික්ම යන්නට කාලය එළැඹ ඇතැයි ඔහුගේ සිත කියන්නට විය.

ඊට පෙර ෂෙල්ටන් තමාට හිතවත් කථිකාචාර්යවරයෙකු හමුවන්නට ගියේය. ඔහු විදුලි ඉංජිනේරු පිලිබඳ බ්‍රිතානයෙන් ද අධ්‍යාපනය ලත් අයෙකි. මෙම කථිකාචාර්යවරයා සමග වටින් ගොඩින් අනං මනං කතා කරන්නට නොසිතු ෂෙල්ටන් කෙලින්ම කාරණයට බැස්සේය.

"මං මේ ඉගෙනීම නතර කරන්න කියල සර්" ඔහු කතාව ඇරඹුවේ එලෙසිනි.

"ඇයි හදිස්සියේම?"

"ඔව්, මට දැන් මේ භෞතික දේවල් ගැන කිසිම ආසාවක් නෑ. මම දැන් භාවනාව ඉගෙන ගන්නවා. ඒ ඔස්සේ ඉදිරියට යන්නයි මගේ අදහස..." යනුවෙන් පැවසූ ෂෙල්ටන් චන්න මහත්තය පිළිබඳව ද බොහෝ තොරතුරු ඔහු හා පැවසීය.

ආචාර්යවරයා පළමුව වදනකුදු නොදොඩා ෂේල්ටන්ට සවන් දුන්නේය. තමා ගෝලයාගේ මුහුණේ ප්‍රසන්න සිනාවක් ඇඳී තිබෙනු ඔහුට පෙනේ. එහෙත් ඔහු යන්නට පය තබා ඇති පාර එතරම් සුභදායි නොවන බව බුද්ධිමත් ආචාර්යවරයාට වැටහිණි.

"මමත් හොඳ බෞධයෙක් තමයි ෂෙල්ටන් මගේ දෙමව්පියොත් මේ රටේ ඉහලම බෞද්ධ පවුල්වල අය අනික බෞද්ධ දර්ශනය ගැන ඉංග්‍රීසියෙන් ලියවුනු පොත් මමත් හුඟක් කියාලවල තියෙනවා. බෞද්ධ භාවනා ක්‍රමත් තරමක් හදාරලා තියෙනවා. දැන් තියෙන්නේ හුඟක් භාවනා ක්‍රම බෞද්ධ මාර්ගයෙන් පිටස්තරයි ෂෙල්ටන්. අද බෞද්ධ භාවනා හැටියට හුඟක් ඉදිරිපත් වෙන්නේ යම් යම් අයගේ පෞද්ගලික අත්දැකීම්. ඒවා ග්‍රහණය කරගන්න එක භයානකයි. කොටින්ම දැන් බෞද්ධ භාවනා ක්‍රම තුලට පවා මිත්‍යාව පිවිසිලා තියෙන්නේ. භාවනාවෙන් සිහිය පිහිටුවා ගන්නවා මිසක් මනසට අයුතු බලපෑම් කරන්න එපා. එයින් අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්."

ෂේල්ටන්ගේ මුහුණට සිනහවක් නැගිණි. "කොහොමද සර් එහෙම වෙන්නේ? අපේ චන්න මහත්තය කරන හපන්කම් ගැන ඇහුවොත් සර් පුදුම වෙයි" යනුවෙන් ෂෙල්ටන් පැවසූ ෂෙල්ටන් භාවනා ක්‍රම මගින් චන්න මහත්තය ඈත අතීතයට ගොස් මෙරට කරවූ රජවරුන් කීහිප දෙනෙකුම හමුවී ඇති ආකාරයත්, අතීතයට පමණක් නොව ඔහු අනාගතයට පවා ගමන් කර ඇති ආකාරයත් ආචාර්යවරයාට පහදා දුන්නේය.

ආචාර්යවරයා ෂේල්ටන්ගේ මුහුණ දෙස සෘජුව බැලීය. මොහු මායාවක පැටලී ඇති බවක් ඔහුට වැටිහිණි. එබැවින් මේ සම්බන්ධයෙන් තමා අවබෝධ කර ගෙන ඇති දෙය ඔහුට අවධාරණය කරවීම සුදුසුයැයි ආචාර්යවරයා ට හැඟිණි. "සමහර විට ඒ මහත්තයා කියපු දෙයක් ඔයාට නොතේරුනා වෙන්න පුළුවන්. ෂෙල්ටන්, ඕක අතීතයට යාමක් නෙමයි. ඕක මායාත්මක අත්දැකීමක්, ඉංග්‍රීසියෙන් ඕකට කියන්නේ Illusion කියල. සිත අනවශ්‍ය විදියට තදින් අරමුණුගත කළාම විවිධ රුප මතුවෙනවා තමයි. නමුත් ඒක බුදුදහමේ එන චිත්ත විසුද්ධියට කොහොමත්ම එකඟ නැහැ. නමුත් සාමාන්‍ය මිනිස්සු හිතන්නේ සෝවාන් වුණා, සකෘදාගාමී වුණා කියලයි. නොදන්නා මිනිස්සු එකෙන් නොමග යනවා. එත් මතක තියාගන්න බුදු හාමුදුරුවෝ ඕවා තරයේම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න හැටි වෙනම පැහැදිලි කරලා දීල තියෙනවා ඒක පියවරෙන් පියවර කල යුතු දෙයක්!"

ෂේල්ටන්ගේ සිතට විමතියක් දැනිණ. එහෙත් ඔහු ආචාර්යවරයාගේ මතයට එකඟ නොවිණි.

"එත් සර් බුදු දහමේ ධ්‍යාන වගේ දේවල් උගන්වනවා නේද? ධ්‍යාන මගින් ඇයි බැරි අතීතයට යන්න? භූතාත්ම වගේ සියුම් ආත්ම හමු වෙන්න..." ෂෙල්ටන් අතුරු ප්‍රශ්නයක් නැගිය.

"විදර්ශනා භාවනාවේදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලක්ෂණය නුවනින් නොදැක සිත් යම් යම් අරමුණු ඔස්සේ ගමන් කරන්න එපා කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කළේ. ඔය වගේ භාහිර අරමුණු වලට යොමු නොවී චිත්ත විසුද්ධිය සොයා ගන්නයි බුදුහාමුදුරුවෝ අවවාද කළේ. නමුත් අද අපේ හුඟක් දෙනෙක් කරන්නෙම අනිත් දේ."

ෂේල්ටන්ගේ සිතට සියුම් නොරිස්සුම් සහගත හැඟීමක් පිවිසුණි. "සර් කියන්න මොනවාද කියල මට හිත ගන්න පුළුවන්. ඒ වගේම මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන් සර්. මේ ටක කාලෙට මං විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කළා. මගේ සිත කයින් වෙන්වෙලා පදාර්ථයක් කරා මව යොමුවන බව මට හොඳින්ම තේරුනා. සමහර විට සර්ට ඒ අත්දැකීම නැතුව ඇති එකයි ඔය."

"ළමයා, මට අද උදෙත් හම්බවුණා භජන් ගායනා වලට සහභාගී වෙන්න යන මං දන්නා කියන බෞද්ධයෙක්. ඕකත් අමුතු දෙයක් නෙමේ. එයා කියන්නේ භජන් කීමෙන් ඔය තත්වේ ලබන්න පුළුවන් කියලා. නමුත් එයා දන්නේ නැහැ ඕක මායාවක් බව. ඔය තත්වය මනෝ බ්‍රාන්තියක්. කිසියම් රිද්මයකට මනස සම්පුර්ණයෙන්ම අවනත කර ගත්තම ඒ ඔස්සේ ඒ තැනැත්තා බ්‍රාන්තියට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනස විකෘතිභාවයන්ට පත් වෙනවා. දිගින් දිගටම එහෙම වුනාම ඒ තැනැත්තා උන්මත්තකයෙකු බවට පත් වෙන්න්න පුළුවන්."

ෂේල්ටන්ගේ සිතට කෝපයක් පිවිසියද ආචාර්යවරයා ඉදිරියේ එය එළි දැක්වීම අසීරු විණි. "සර් කොහොමද ඒක ඔප්පු කරන්නේ?" යනුවෙන් ඔහු නොරිස්සුම් සහගතව ඇසීය.

"මං ඕවා ගැන දිගින් දිගට හදාරලා තියෙනවා ෂෙල්ටන්. ඔය කියන මනෝ බ්‍රාන්තිය එල්. එස්. ඩී., මරිජුවානා, හෙරොයින් වගේ නිද්‍රාජනක මත්ද්‍රව්‍ය තුලිනුත් ඒ විදියටම ඇති වෙනවා. භජන් කිව්වත් එකයි, ඔය කියන මත්ද්‍රව්‍ය ගත්තත් එකයි. භාවනාව කිය කියා සිත අනිසි විදිය ඒක ඒක අරමුණු වල රඳවා තැබුවත් එකයි. ඔය ළමයට තේරුනාද? ඒ හින්දා සිත වුවමනාවට වඩා ඒක පැත්තකට යවන්න එපා.ආගම් පිස්සුව (Religiomania) කියන තත්වය ඇති වෙන්නත් පුළුවන්. එකෙන් වෙන්නේ ප්‍රඥාව වැඩි දියුණු වීම නෙමේ ආගමේ වහලෙකු වීම විතරයි.

"බුද්ධ දේශනා වලට නේද සර් මේ ගරහන්නේ?" ෂෙල්ටන් කෝපය නිසාම ඉවත බලාගෙනම විමසිය.

"කීයටවත් එහෙම හිතන්න එපා. බුදු හාමුදුරුවෝ චිත්ත විසුද්ධිය ලබන්න කිව්වේ ප්‍රඥාව දියුණු වෙන බෞද්ධ භාවනා මාර්ගය ඔස්සේ. ඔලුව නරක් කරගෙන අතීතයට අනාගතයට රවුම් ගහන භාවනා ක්‍රම බුදුහාමුදුරුවෝ අනුමත කරලා නෑ. සිත පිලිබඳ බුදුහාමුදුරුවෝ කරන විග්‍රහය සිංහල පොත්වල ලියවෙලා නැහැ ෂෙල්ටන්. නමුත් හරියට ඉංග්‍රීසියෙන් ඕනේ තරම් ලියවිලා තියෙනවා. මුලින් හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඊට පස්සේ ඔය පොත් කියවන්න." කෝපයකින් නොවුවත් තරමක දැඩි හඬකින් ආචාර්යවරයා පැවසීය.

"ඔය කියන පොත් ඇයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ? සුද්දෝ බුද්ධාගම අදහන්නේ නැනේ?" ෂෙල්ටන් ඇසුවේ කුතුහලයෙනි.

"ඒ මිනිස්සු බුද්ධාගම ඇදහුවේ නැති උනාට ඔය යුරෝපා රටවල ශ්‍රේෂ්ඨ උගත්තු බුද්ධාගම පිලිබඳ ගැඹුරු හැදෑරීම කරලා ඒ ගැන පොත්පත් ලියලා තියෙනවා. එත් අපේ මිනිස්සු අදත් හොයන්නේ මානොකායයි පුනර්භවයයි ගැන විතරයි. බුදුදහමේ මූලික හරය බෞද්ධයෝ වන අපට වඩා හොඳින්ම වටහා ගෙන තියෙනව ඒ අබෞධයෝ. ඒ නිසා වහාම ඔය වැඩේ නතර කරලා නිවැරදි බුදු දහම හදාරලා පිරිසිදු බෞද්ධයෙක් වෙන්න."

ෂෙල්ටන් ආචාර්යවරයාගෙන් සමුගත්තේ නොපහන් හැඟීමෙන් යුතුවය. ඔහු කී එකම වදනක්වත්, පිළිගන්නට තරම් ෂේල්ටන්ගේ හිත නොනැවිණි.

No comments:

Post a Comment