දහසයවන කොටස

ෂෙල්ටන් යන නම තමන්ගේ සිතැඟි සහ තමා ගමන් ගන්නා මාවතට අනුව කෙසේවත් ගැලපෙන්නේ නැතැයි ඒකමතිකව තීරණය කළ ෂෙල්ටන් තාම නම වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය සියළු කටයුතු සුදානම් කළේය. පසුව ඒ සම්බන්ධයෙන් ඔහු 1994 ජනවාරි 28 "ජනතා" පත්‍රයෙහි පහත දැක්වෙන දැන්වීම පලකොට තිබිණි.

"හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු කණුමුදෙනිය ගමේ පදිංචි රාජපක්ෂගේ ෂෙල්ටන් හෙවත් ෂෙල්ටන් රාජපක්ෂ යන නම්වලින් හැඳින්වුණු මා මෙතැන් සිට සුදර්ශ රාජපක්ෂ යන නම භාවිතා කරන බව මෙයින් දන්වා සිටිමි"

ෂෙල්ටන් සුදර්ශ වුයේ ඉන් අනතුරුවය. නම වෙනස් කරගත්තත් පැහැදිලි දර්ශනයක් ඔහු සතුව තිබුනේ නැත. බුදුරජානන්වහන්සේ හෝ වෙනත් ආගම් ශාස්තෘවරයෙකු විසින් පෙන්වා දුන් මාර්ගයක් ඔස්සේ ඉදිරියට යාම වෙනුවට සුදර්ශ උත්සාහ කලේ තමන් විසින්ම වෙනත් මගක් සොයා ගැනීමය. එය හරියටම නිවැරදිව කිවහොත් පැහැදිලිව පවතින මාර්ගයක් අලුතෙන් තනා ඒ ඔස්සේ යන්නට වෙරදරන්නාක් මෙනි. නමුත් ඒ සඳහා වුව අදිෂ්ඨාන ශක්තිය හැරුණු විට පැහැදිලි චින්තනයක් සුදර්ශ සතුව නොවීය. ඔහුට තිබුනේ චන්න මහත්තයාගෙන් ලද ඉඟි ටිකක් පමණි. භාවනාව ඔස්සේ චිත්ත ශක්තිය පුබුදුවාගෙන ඒ මතින් රෝගීන් සුවපත් කරන්නටත්, අතීතයට හා අනාගතයට ගමන් කරන්නටත් මේ මතින්ම කිසියම් විමුක්ති මාර්ගයක් සොයා ගන්නටත් සුදර්ශගේ මනස යොමුවිය.

මේ වනවිට සුදර්ශ නාලන්දාරමයේම සිටියත් සිය ලොකු තාත්තා වූ බණ්ඩාරනායක මහතා වෙතින් ඈත්ව සිටි අතර ඔහුගෙන් වියදමට මුදල් ගැනීමද නතරකොට තිබිණි. ඔහු ඉගෙනිමද සහමුලින් අතහැර දමා තිබු බැවින් බණ්ඩාරනායක මහතා පසුවූයේ හිත්වේදනාවෙනි. "පවුලේ වැඩිමලා නේද කියල උගන්නලා මනිස්සයෙක් කරන්නයි බැලුවේ. ඌ එතකොට පවුලේ අනිත් උන්ට බලයිනේ කියල මං හිතා හිටියා. මේකා ඒ සේරම කා ගත්තා" යයි බණ්ඩාරනායක මහතා තනිවම ලතවිණි.

"සුදර්ශ සල්ලි ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. මං ඒවා බලාගන්නම්" චන්න මහත්තයා තාම අනුගාමිකයා දිරිමත් කරමින් නිරතුරුවම පැවසීය.

එහෙත් භාහිර ස්වරූපයෙන් යාචකයෙකුට වැඩි වෙනසක් නොතිබූ චන්න මහත්තයාට සල්ලි කොහෙන්දැයි සුදර්ශ නොවිමසුවත් ඔහු ඒ පිළිබඳව නිහඬව කල්පනා කළේය.

"ඇයි සුදර්ශ කල්පනා කරන්නේ? සාමාන්‍යයෙන් මනුස්සයෙකුට ජිවත් වෙන්න මහාලොකු වියදමක් යන්නේ නෑනේ. ඒ කියන්නේ ලක්ෂ තිහ හතලියක් යනවා නම් එක වුනත් මං දෙන්නම්" චන්න මහත්තයා කිසිදු ගණනක් නැතිව අතිශය සාමාන්‍ය ආකාරයෙන් පැවසුවත් සුදර්ශට නම් මෙය අදහාගත නොහැකි විස්මයක් වී තිබිණි.

"ඒ තරම් ලොකු සල්ලියක්! මේ මනුස්සයාට කොහෙන්ද එච්චර සල්ලි?" සුදර්ශ තනිව සිතීය.

එයත් දියුණු කරගත් අධ්‍යාත්මික ශක්තිය තුලින් ගුප්ත ආකාරයට ලබාගත් මුදල් කන්දරාවක් විය යුතුයැයි සුදර්ශ කල්පනා කළේය.

තමන්ගේ පසුබිම කෙසේ වුවද තාම පවුලේ පසුබිම ගැන සලකා බැලුවොත් ඔහුට විශාල මුදල් ප්‍රමාණයක් ලැබේ නම් එය අතිශයින්ම වැදගත් වේ. ඉන් තම පියාට. සුළු මවට සහ සොයුරු සොයුරියන්ට සැලකීමට පුළුවන. නමුත් ඒ පිළිබඳව සිතා වුවද මුදල් පසුපස හඹා යන්නට තරම් සුදර්ශ ගේ සිත නොනැමිණ. ඇත්තෙන්ම මුදල් පිලිබඳ ඔහුට ආශාවක් තිබුණේම නැති තරම්ය. ඔහුගේ ඒකායන පරමාර්ථය වුයේ විමුක්තියක් සොයායාම සහ රෝගීන් සුවපත් කිරීම පමණි.

මේ සඳහා මුලික අඩිතාලමක් දැමීම වශයෙන් මිනිස් වාසයෙන් තොර නිහඬ පදෙසකට ගොස් භාවනාවෙහි යෙදීමට සුදර්ශ කල්පනා කළේය. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට පෙර යෝග්‍ය තැනක් විමසා බැලිය යුතුය. මීට උචිතම ස්ථානය සිරිපා හිමය බව අවසානයේ ඔහු නිගමනයකට එලබුණි. ඊට බලපෑ සුවිශේෂ හේතු දෙකක් විය. එකක් කලකට උඩදී ඔහු හමුවූ හොරණ කුඩා උඩුවේ නාරද තුමාය. දොළොස්වසරක් තිස්සේ සිරිපා හිමයේ බැදන් සමනොළ කඳු වැටියෙහි භාවනානුයෝගිව වැඩහුන් නාරද තුමා ඒ මතින් කිසියම් චිත්ත බලයක් උපදවා ගත්තෙකු වශයෙන් සුදර්ශ කල්පනා කර තිබිණි. අනෙක් හේතුව වුයේ සමනලගිරි වෙදකමෙහි නියුතු සරත් අඹතලාව වෙදමහතා මේ හිමය පිලිබඳ වරින් වර පවසා තිබූ අද්භූත කතාය. තමන්ගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමට සුදුසුම ස්ථානය සිරිපා හිමය යැයි අවසන් නිගමනයකට එළැඹි සුදර්ශ දිනක් කිසිවෙකුටත් නොදන්වාම ඇඳුම් කිහිපයක් ඇතුළු අත්‍යවශ්‍යම දේවල් ද බැගයකට දමාගෙන අවාරයේම සිරිපා හිමය තරණය කිරීමේ අදිටනින් තනිවම නික්මුණි.

සුදර්ශගේ අරමුණ වුයේ රත්නපුර පලාබද්දල මාර්ගයෙන් යාමයි. ඒ නිසා රත්නපුරට පැමිණ එතනින් ඔහු සිරිපාගම දක්වා දිවෙන බසයකට නැග ගත්තේය. පයකට වැඩි කාලයක් තිස්සේ ගමනෙහි යෙදුණු බසය සිරිපාගම හන්දියේ නතර කෙරිණ. එහි වූ කුඩා කඩමණ්ඩිය මැදින් වැටීගත් පාරේ සුදර්ශ බෑගයත් උරේ එල්ලාගෙනම සංසුන් ගමනින් ඇවිද යන්නට විය. කුඩා තේවතු, කඳුගැට සහ ඒ අතරමැද වූ නිවෙස්ද ඔහු එකින් එක පසුකරමින් සිටියේය. එය නොදියුණු ගම්පියසක් විය. මින්පෙර කිසිදා නොපැමිණ තිබූ මේ මග සිරිපා හිමය පමුලද යන්නවත් සුදර්ශ දැන සිටියේ නැත. ඔහු තුල අරමුණක් මිස ඉන් එහාට කිසිවක් පිලිබඳ දැනීමක් හෝ වැටහීමක් නොතිබිණි.

1 comment:

  1. කතාව කියෙව්වා. ඊළඟ කොටස එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ...

    ReplyDelete