හයවන කොටස

මේ අතර නාලන්දාරාමයේ ප්‍රතිකාර කරනු ලබන ඒ වෛද්‍යවරුන්ට වඩා බෙහෙවින් සුවිශේෂ බවක් ෂෙල්ටනට ඔහු හඳුනාගත් මුල් දිනවලදීම පැහැදිලි විය. මොහු නාඩි අල්ලා බැලීමෙන් රෝගියාගේ රෝගය හඳුනාගත් මුත් එය ඉන්දියාවේ උපත ලද නාඩි වෛද්‍ය ශාස්ත්‍රයක් ද නොවීය. මේ ගැන තවත් සොයා බලන්නට ෂෙල්ටන් තුළ කැමැත්තක් ඇතිවිණ.

ඒ අනුව සරත් පී. අඹතලාව නැමැති මෙම තලතුනා වෛද්‍යවරයා සමග කතා බහ කරන්නට ෂෙල්ටන්ට වුවමනා විය. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වූ හෙතෙම දැන් ස්ථාන කිහිපයක පූරණ කාලිනව මෙම වෛද්‍ය ක්‍රමයෙහි නියැලෙන්නෙකි. සමනල ගිරි වෛද්‍යක්‍රමය යනුවෙන් ඔහු විසින්ම් නම් කර ඇති මෙබඳු ගුප්ත වෙදකමක් පිළිබඳ මින් පෙර ෂෙල්ටන් අසා තිබුණේ නැත.

"මොකද්ද මහත්තයා මේ වෙදකම?" දිනක් ෂෙල්ටන් වෛද්‍යවරයා ගෙන් ඇසීය.

"මේක ළමයා සමනල අඩවියෙන් බිහිවුණු පුරාණ වෛද්‍ය ශ්‍රාස්ත්‍රයක්නේ. එක හින්දයි මම ඔය නම යොදා ගත්තේ." පැහැපත් උපශාන්ත පෙනුමකින් යුතු එම වෛද්‍යවරයා ෂෙල්ටන් වෙත ප්‍රසන්න සින්හවක් පාමින් පැවසීය.

ඉන්පසුවත් මේ ගැන දිගින් දිගටම කල්පනා කළ ෂෙල්ටන් මේ ගැන වැඩි තොරතුරු එම වෛද්‍යවරයා වෙතින් අසා දැන ගන්නටත්, ඒ ඔස්සේ හැකි වුවහොත් මෙය ඉගෙන ගන්නටත් සිත් විය. ඔහු වෛද්‍යවරයා විවේකයෙන් සිටින මොහොතක් බලා යළිත් එම කාමරය වෙත ගියේය. ප්‍රසන්න කාරුණික පෙනුමකින් යුතු පෙනුමෙන් යුතු වෛද්‍යවරයා ෂෙල්ටන් වෙත සුහද සිනාවක් පෑවේය.
"මොකද අද මේ පැත්තේ?" අනතුරුව හේ කාරුණිකව විමසීය.

"මට හරි ආසවක් අතිවුනා වෙද මහත්තයා මේ සමනගිරි වෙදකම අති වුනේ කොහොමද කියන එක ගැන තොරතුරු ටිකක් දැන ගන්න."

තමා ඉදිරිපස වූ පුටුවෙහි වාඩී වූ මෙම තරුණයා දෙස වෙද මහතා පළමුව හොඳින් බැලුවේය.

ඔහු වෙතින් දිස් වන්නේ කිසියම් අහිංසක පෙනුමකි. එසේම බලපොරොත්තු සහගත බවක් මුහුණෙන් පළවේ. ශිෂ්‍යන් දහස් ගණනකට උගන්වා පළපුරුදු, පසල් කිහිපයක් විදුහල්පතිවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබූ වෛද්‍යවරයාට ෂෙල්ටන්ගේ මේ ස්වභාවය තමාගේ කීකරු ගෝලයෙකු සිහියට නැංවෙන්නට ඇත.

"ෂෙල්ටන් බොහොම උනන්දුයි වගේ මේ වෙදකම ගැන? ඒක බොහොම හොඳ දෙයක්. අපේ පරණි ශස්ත්‍ර රැක ගන්න ඔනෙ. ඔය වගේ අළුත් පරපුරේ අය තමයි." වෛද්‍යවරයා සොම්නස් සහගතව පැවසීය.

ඔහු ඒසෙ පවසා සිය අසුනෙහි තවත් සුව පහසු අන්දමින් හරි බරි ගසුනේ දිගු කතාවකට මුල පුරන්නටය. ෂෙල්ටන් වෛද්‍යවරයා වෙතින් සිය බැල්ම ඉවත් නොකරගෙනම එක දිගටම බලා සිටියේය.

"දඹදෙනියේ රජකම් කරපු දෙවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවො ගැන ඔය ළමයා අහල ඇතිනේ?" ෂෙල්ටන් වෙද මහතා අසත්ම හිස වැනීය.

“මට මතක හැටියට ක්‍රිස්තු වර්ෂ එකදාස් තිස් පහේදී විතර තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො රජකමට පත් වුණේ. ඔය රජ්ජුරුවො අපේ මේ බුද්ධ ශාසනයට විශාල සේවයක් කරපු කෙනෙක්. කොටින්ම මේ රටේ හිටපු දුසිල්වත් චීවරධාරීන්ව නෙරපලා ශාසන ශුධියක් ඇති කළා ඔය රජ්ජුරුවො. සියම් රටේ තාම් ර දේශයෙන්, දැන් ඔය තායිලන්තයේ ලිහෝර් කියන්නෙත් ඒ ප්‍රදේශයටමනේ. එහෙන් ධර්මකීර්ති කියලා භික්ෂූන් වහන්සේ නමක් ගෙන්වලා ඔය ශ්‍රීපලාබද්දල වනවාසී පිරිවෙණකුත් ඇතිකලා. ඔය හාමුදුරුවෝ විදර්ශනාලාභී හාමුදුරු නමක්. සෘද්ධි ප්‍රාතිහාර එහෙමත් පන්න පුලුවන්ලු.”

වෛද්‍යවරයා තම ගෝලයෙකුට පාඩමක් කිය දෙන පරිද්දෙන් ෂෙල්ටන් වෙත පවසන්නට විය. ෂෙල්ටන් මහත් උනන්දුවෙන් ඊට සවන් යොමාගෙන සිටියේය. වෛද්‍යවරයාගේ ප්‍රසන්න මුහුණ වරෙක සිනහවෙන් පිබිදෙයි. තවත් වරෙක දෙනෙත් විසල් වී නළල රැලි ගැසෙයි. ඔහු පවසන පුවත ඒ තරමටම එය පවසන විලාශයත් ෂෙල්ටන් තුළ වූ උනනදුව දෙගුණ තෙගුණ කරවන්නට සමත් චිය.

"ඔය ධර්මකීර්ති හාමුදුරුවො පලාබද්දල වනවාසය පිහිටුවලා ධ්‍යාන බල සහිත ගෝල සඟ පරපුරක් බිහි කළා. ඒ කාලෙනේ ළමයො ඔය නිකාය සංග්‍රහය, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වගේ වටිනා පොත් බිහිවුණේ. ඔය ධ්‍යාන බල සහිත ගෝල හමුදුරුවරු තමන්ට හැදෙන ලෙඩ රෝග හදුනා ගත්තෙත් චිත්ත බලයෙන්. ඒ විතරක් නෙමෙයි ඒවට ඖෂධ හඳුනාගත්තෙත් චිත්ත බලයෙන්.."

වෙද මහත්තයා මෙසේ පවසද්දී ෂෙල්ටන් ගේ දෑස් විසල් විය. ඔහු ඇසිපිය නොසලා වෙද මහතා දෙස බලා සිටියේ වශිකෘත වූවක් මෙනි.

"ඒ කියන්නෙ තමන්ගෙ චිත්ත ශ්ක්තිය එච්චරට දියුණු කරගෙනද?" ෂෙල්ටන් ඇසුවේ සිහිනෙන් අවදි වූවකු මෙනි.

"නැතුව? ධ්‍යාන බල ලබල එතනින් අභිඥා ලබලා ඊලඟට දිව්‍යඥානය ලබපු භික්ෂූන් වහන්සේලා ඒකාලෙ හිටියා. කොහොමටත් ළමයෝ භාවනා කරන්න සුදුසුම තැන් උස් බිමක්. ඒ කාලෙ ඔය සිරිපා අඩවියේ භාවනායෝගියො මොන තරම් වැඩ වසල තියෙනවද? සිරිපා අඩවියේ බොහෝම හාස්කම් තිබුණු තැනක්. බුදුන් වැඩිය රටනේ. අදට වුණත් ඔය වනගත වෙලා භාවනා කරන යෝගීවරු ඔය අඩවියේ නැත්තෙ නෑ. තමන්ගේ සිත එකතැන් කරගෙන භාවනා වඩන්න ඒ වගේ ප්‍රදේශයක් තවත් මේ රටේ නෑ."

ෂෙල්ටන්ගේ සිත වෙද මහත්තයගේ කතාව ඔස්සේ විසල් දුරකට ගමන් කොට තිබිණි. මේ තරුණයාගේ මුහුණ දීපතිමත් බවකින් පිරීයනු වෙද මහතාට දැනේ. ඉන් දිරිලත් ඔහු සිය කතාවේ ඉතිරි ටික කියන්න පටන් ගත්තේය.

"ඒ කාලෙ ඔය ධ්‍යාන බල ලබපු සංඝයා වහන්සේල චිත්ත ශක්තියේ බලයෙන් රෝග වලට හොයා ගත්තු බෙහෙත් පිළිබඳව පුස්කොළ පොත්වල ලියවුණා. ඒත් ඔය වෛද්‍ය ක්‍රමය ඊට පස්සේ සීතාවක රජසිංහ යුගයෙදි නතිවෙලා ගියා. දන්නවනේ සීතාවක රාජසිංහ රජ්ජුරුවො මොකද කළේ කියල?" තමා තුළ වූ උනන්දුව මතින්ම ෂෙල්ටන් හිස සැලීය.

"හැබැයි ඉතින් ඒ වුණත් මිනිස්සු අතරේ මේක නැත්තටම නැති වුනේ නෑ. අත්බේත් වගේ හරි ඔය සිරිපාද අඩවිය අවට ගම්වල මිනිස්සු අතරේ මේක ටික ටික තිබුණා. අදත් ඒ පැත්තේ ගෙවල් වල ඒ පුරාණ පුස්කොළපොත් තියෙනවා. ඔන්න ඔහොම ඉන්න කොට මට හැදුණා මගේ මේ කකුල්වල අමාරුවක්. සිංහල බෙහෙත් කළා ඉංග්‍රීසි බෙහෙත් කළා මොකකින්වත් නෑ කිසිම ගුණයක්."
"ඔය කාලෙ වෙනකොට වෙද මහත්තයා මේ සමනලගිරි වෙදකම කළේ නෑ?"

"මොන? මං එතකොට ඉස්කෝලෙ උඅගන්නනවා. මගේ මේ කකුල් අමාරුව හොඳ වෙන්නෙ නැතුව මං ඒ ගැන් කල්පනා කර කර ඉඳිද්දි මට හදිස්සියේම වගේ පුස්කොළ පොත් කීපයක් හම්බ වුණා. බලනකොට ඒකෙ තියෙනවා මේ වෛද්‍ය ක්‍රමය ගැන. මේ ගැන දිගින් දිගටම කරුණු හොයලා බලද්දි මට මගේ රෝගෙ මොකද්ද කියන එක ගැන හොඳටම වැටහුනා. ඒවයේ තිබුණු ප්‍රතිකාරත් මං ඒ විදියටම කළා. මගේ ලෙඩේ සනීප වුණා. ඊට පස්සේ තමයි පුළුවන්තරම් පුස්කොළපොත් හොයලා කරුණු හදාරලා මං මේ වෙදකම ප්‍රගුණ කලේ."

වෙද මහත්තයා සිය කතාවට මද විරාමයක් තබා යළි ෂෙල්ටන් දෙස බැලීය. ඔහුගේ මුහුණ බලාපොරොත්තුවෙන් පිරී ඇති බවක් පෙනේ. වෙද මහතාගේ මුහුණට ප්‍රසන්න සිනාවක් නැගිණි. මේ වගේ වටිනා කියන දේවල් මේ තරුණ ළමයි ඉදිරියට ගෙනිච්චොත් මොන තරම් සේවයක් වෙයිද? ඔහු තනිවම සිතීය.

එහෙත් ෂෙල්ටන් සිතුවේ අනෙකකි. මෙම අපූරු වෛද්‍ය ක්‍රමය ප්‍රගුණ කිරීම කෙසේ වුව සිරිපා හිමයට ගොස් සිය චිත්ත ශක්තිය දියුණු කර ගත හැකිනම් එයින් තවත් වටිනා සේවයක් තමාට ඉටුකළ හැකි නොවෙද?

No comments:

Post a Comment