හත්වන කොටස

මනලගිරි වෛද්‍ය ක්‍රමය පිළිබඳව වෛද්‍යවරයා මහත් උනන්දුවකින් තවත් බොහෝ දේ පවසනු ෂෙල්ටන් අසා සිටියේය. එහෙත්, ඔහු කී නාඩි වෙදකමෙන් එපිට බොහේ දුරක් ෂෙල්ට්න්ගේ සිත ගමන් කර තිබිණි.පරිගණක විද්‍යාව, සිවිල් ඉන්ජිනේරු ශිල්පය මොන විහිළුවක්දැයි ෂෙල්ටන්ට සිතේ. තමා මෙතෙක් සෙවූ දේ සොයා ගැනීම උදෙසා මාවතක් පෑදී එමින් තිබේ. මේ මාවත සමනල අඩවිය ඔස්සේ වැටී ඇත. ෂෙල්ටන්ගේ සිත සතුටින් පිරී ගියේය.

වෛද්‍යවරයාගෙන් නාඩි වෛද්‍ය ක්‍රමය ඉගෙණ ගන්න අතරේම සමනල අඩවිය පිළිබඳ තොරතුරු සොයන්නට ෂෙල්ටන් දැඩිව අදිටන් කර ගත්තේය. ඔහු අසා ඇති තොරතුරු වලට අනුව අක්කර පනස් දහසකටත් වැඩි වනගහනයක් වූ මෙය අදත් අතිශයින් ගුප්ත ජනක වන පාරාදීසයකි. මේ දක්වා කිසිදු මිනිස් පා සටහනක් නොලත් තැන්ද මෙම අක්කර පනස් දහස ඉක්ම වූ වන ගහනය තුළ අදටත් පවතී.

ඇත්තෙන්ම මේ සිරිපා හිමය තුළ අදටත් එබ්ඳු යෝගීවරුන් නිහඬව සහ අප්‍රකටව වැඩ වෙසෙතැයි ෂෙල්ටන් ඒ පිළිබඳව කරුණු සෙවීමේදී දැනගන්නට ලැබිණි. ඉතාමත් අප්‍රකට ලෙසින් වැඩ වසන ධ්‍යාන ලාභී රහතන් වහන්සේලා පවා මෙම හිමයේ විසල් වන ගහනය තුළ වැඩ වෙසෙතැයි තවත් කවුදෝ ෂෙල්ටන් හා කියා තිබිණි. එහෙත් ඒ පිළිබඳව වැඩි තොරතුරක් ඔහුට දැනගත හැකි වූයේ නැත.

එහෙත් එම පසුබිම් කරුණු මති ඔහු පස්වන්ක් ප්‍රීතියෙන් ඔද වැඩෙන්නට විය. "මට ඕන දේ මං සොයා ගත්තා. දැන් තියෙන්නේ ඒ මග ඔස්සේ ඉදිරියට යාමයි." යනුවෙන් ඔහු එම ප්‍රීතියෙන් උද්දාමව තමාටම කියා ගත්තේය.
ලොකු තාත්තාට නොදැනෙන පරිදි ෂෙල්ටන් මේ ශ්‍රීපාද අඩවිය තුළ භාවනානුයෝගීව වැඩ විසූ කවුරුන් හෝ සිටිත්දැයි විපරම් කරන්නට පටන් ගත්තේය. එමගින් තම අරමුණ ඉටු කර ගැනීමට මුලක් පාදා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. බොහේ දුර කරුණු හොයා බැලීමේදී ශ්‍රීපාද අදවියේ සමනොල කඳු සිරසෙහි මහාවනය මැද වසර 12ක් තිස්සේ භවනානුයෝගීව වැඩ විසූ ධ්‍යාන ලාභී තවුසෙකු පිලිබඳව ඔහුට දැනගන්නට ලැබිණි. මේ වන විත වයෝවෘද්ධ තත්වයේ පසුවූ එම තවුසා එවකට හොරණ ප්‍රදේශයේහි තමන් විසින්ම තනවා ගත් ආරාමයක සිය ජීවිතයේ සැඳෑ සුවය ගත කරමින් හිඳින බවත් ඔහු නමින් නාරද තුම වශයෙන් හැඳින් වෙන බවත් ෂෙල්ටන්ට දැනගත හැකිවිය. ඒ අනුව වඩාත් උනන්දු වූ ෂෙල්ටන් මෙම නාරද තුමා වෙසෙන ආරාමය කොහෙදැයි සොයා බැලීය.

හොරණ රත්නපුර පාරේ සවිගස් හන්දියෙන් වමට හැරී කි.මී. 1 පමණ යන විට මාරගහහේන හමුවේ. එම පාරේ සිට දකුණු අත පැත්තට වැටුණු ගුරු පාරක් දිගේ තවත් සෑහෙන දුරක් ගමන් කළ පසු ඉතාම නිස්කලංක බවින් පිරිපුන් වාට පිටවකින් යුතු රබර් හේඩාවකට මැදි වුණු ජයබිම අරම නැමැති ආරාමය දැකගත හැකිය. නාගස්වලි පිරීගිය අතිශය සෞම්‍ය දේශගුණයකින් යුතු ගතටත් සිතටත් මහත් අස්වසුම් දනවන පරිදි කරවන ලද එම ආරාමය තවුස් දම් පුරන්නෙකුටම ඔබින වූවකි.

එක්තරා සන්ධ්‍යා භාගයක මෙම ජය බිම අරම හිමි නාරද තුමා සිය ආරමයෙහි විවේකීව පසු විය. සුදු ඇඳුමකින් සැරසීගත් සියුමැලි පෙනුමකින් යුතු එකතරා තරුණයෙකු බෑගයක්ද අතින් ගෙන මෙම අරමට පිවිසෙනු එතුමා බලා සිටියේය. මේ රමට එක් එක් ආකාරයේ පුද්ගලයන් පිවිසීම සාමන්‍ය දෙයකි. දිනපතාම මෙහි පැමිණ තෙරුවන් වඳින උවසු උවැසියන්ගෙන්ද අඬුවක් නැත, එහෙත් මේ තරුණයාගෙන් දිස් වන්නේ එවන් ස්වරූපයක් නොවේ. ඔහු මේ පැමිණි ගමනද සාමාන්‍යයෙන් සෙස්සන් කරනු ලබන තෙරුවන් වැඳීමේ කාර්ය්‍ය නොවන බවද නාරද තුමට වටහා ගැනීමත අසීරු වූයේ නැත.

වයෝවෘද්ධ, තද දුඹුරු පැහැයට හුරු චීවරයක් නොවන කසාවතකින් සැරසී සිටි උපැස් යුවළක්ද පැළඳි මෙම පුද්ගලයා තමා සොයා ආ තැනැත්තාම බව ෂෙල්ටන්ගේ සිතට එක්වරම හැඟිණ. ඔහුට දැන ගන්නට ලබුනු පරිදි සිරිපා හිමයේ දොලොස් වසරක් තිස්සේ භාවනායෝගීව හිඳ ධ්‍යාන ලබාගත් මේ පුද්ගලයා රහත් එලයද ලබූ අයෙකි. ෂෙල්ටන්ගේ සිතට නාරදතුමා මෙන්ම එම නිහඬ නිසල ගුප්ත බවක් දනවූ වටාපිටාවද සුටුමතින් මහත්වූ අස්වසිල්ලක් දනෙන්ට විය. තම හමන් බෑගය බිම තැබූ ඔහු මෙම තවුසාට පසඟ පිහිටුවා වැන්දේය.


අනගාරික නාරද තුමා

"ඔබ තුමාව හමුවෙන්නයි ආවෙ..." ෂෙල්ටන් සිය කාරණයට පිවිසීම සඳහා මූලික පියවර තබමින් කෙටියෙන් පැවසීය.

"කොහෙ ඉඳලද මේ දරුවා එන්නේ?"

"කොළඹ ඉඳලා."

"ඔව්... ඔව්... කියමු බලන්න ආපු කාරණේ."

ෂෙල්ටන් වෙත අසල වූ පැදුරක් දිගු කරන අතරේම තමාද එම ධර්ම ශලාවෙහි වූ කෙටි අසුනක වාඩි වෙමින් නාරද තුමා කරුනාබර හඬින් තෙපලේය.

"ඔබතුමා සිරිපා හිමේ අවුරුදු දොලහක් තනියම භාවනායෝගීව ජීවත් වුණා කියල මට දැනගන්න ලැබුණා?."
නාරද තුමා යන්තමට හිස සැලීය.

"ඇහුවට අහිතක් හිතන්න එපා. ඔබතුමා ධ්‍යාන ලබාගත් කෙනෙක් කියලත් සමහරු කියනවා"
නාරද තුමාගේ මුවඟට සිහින් සිනාවක් නැගුනි.

"නෑ පුතා නෑ..." අනතුරුව පැවසූ නාරද තුමා "මං ධ්‍යාන ලබාගත්ත කියනවට වඩා සිත එකතරා මට්ටමකට දියුණු කර ගත්තා කිව්වොත් තමයි වැඩියක්ම නිවැරදි." යැයි පැවසීය.

ව්යෝවෘද්ධ වුවද ඔහුගේ සිනාව සහ බල්ම ප්‍රසන්නය. හඬ පැහැදිලිය. ගමනින් පවා පළවූයේ ශාන්ත බවකි. ෂෙල්ටන් තව මොහොතක් මේ ප්‍රසන්නශීලී කරුණාබර මිනිසා දෙස එක එල්ලේ බල සිටියේය.

නාරද තුමා යළි මෙම තරුණයා දෙස කාරුණික සෘජු බල්මක් හෙලීය.

"ඇයි පුතා? මම නම් ශ්‍රීපාද අඩවියට ගිහින් අවුරුදු දෙලහක් භාවනානුයෝගීව සිටියා තමයි. මොකද්ද දැන් ඔය දරුවගේ බලාපොරොත්තුව?."

"සිරිපා හිමයට ගිහින් භාවනා කරලා මගේ චිත්ත ශක්තිය දියුණුකර ගන්න."

යමක් වටහා ගත් අයුරින් නාරද තුමා හිස සැලීය. ඔහු සිය අසුනින් නැගී සිටියේය.

"දරුවා අපි ටිකක් විවේකීව කතා කරමු. ඔය ඇඳුම් මාරු කරලා මූණ කට හෝදගෙන මහන්සි ඇරල හිටිය නම්... මං පුතාට බොන්න මොනව හරි පිළියෙල කරගෙන එන්නම්"

එසේ පැවසු නාරදතුමා සිය කසාවත යළිඳු සකසා හඳිමින් ධර්ම ශාලාවෙන් පිට විය.

ෂෙල්ටන් ද හුන් තැනින් නැගී සිටියේය. නා අරණේ විවිධ උවසු උවැසියන් මහත් බැති සිතින් බුදුන් වඳිනු පෙනේ. නාගස් මැද්දෙහි කුඩා ගල්තලාවක් මත මල් ආසනය සැකසී තිබිණි. සිහිල් සුළඟක් ෂෙල්ටන්ගේ ගත වටා එතෙන්නට විය. ඔහුගේ සිත මහත් උද්දමයකින් පිරීයනු දනිණි. තමා කිසියම් ක්ෂේමභූමියකට පැමිණ ඇති බවක් ඔහුට හැඟී යන්නට විය. ඒසෙම මෙය කිසියම් තීර්ථ චාරිකාවක ආරම්භය යැයි ඔහුගේ සිත කීය.

2 comments:

  1. කාලෙකින් මේ පැත්තට ආවෙ
    සමනළ අඩවිය ගැන මේ වගේ කතා කිහිපයක්ම මමත් අහල තියනවා.
    හරියට ඉන්දියාවෙ හිමාල අඩවිය වගේ.
    හුඟක් විදේශ රටවල අය ඇවිත් බණ බාවනා කරනවලු මේ ප්‍රදේශයෙ

    ReplyDelete
  2. මේ නාරද තුමා හිටිය හොරන ආරාණ්‍ය තවමත් තිබෙනවාද ?

    ReplyDelete