පස්වන කොටස

නාලන්දාරාමයට පැමිණි එක්තරා වෛද්‍යවරයෙකු විසින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමක්ද මේ අතර අරඹා තිබිණි. මෙය බටහිර හෝ දේශීය වශයෙන් වන සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමයක් නොවීය. එය එක්තරා දාර්ශනික ප්‍රතිකාර විශේෂයකි. මේ අපූරු ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව ෂෙල්ටන්ගේ මනස අවදිවන්නට පටන් ගත්තේය. නාලන්දාරාමය එවකට සිය නිත්‍ය නවතැන කරගෙන සිටි ෂෙල්ටන්, පන්සලේම එක් ගොඩනැගිල්ලක කොටසක නාඩි වෙදකමෙහි යෙදෙන දේශීය වෛද්‍යවරයා කෙරෙහි මහත් උනන්වක් දක්වන්නට පටන් ගත්තේය. ලොකු තාත්තාගේ සිත බිඳින්නට බැරි කමට විදුලි ඉංජිනේරු පාඨමාලාව හැදෑරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයට සම්බන්ධ වුවද ඔහුගේ සිත ඊට වඩා තදින් මෙවන් ගුප්ත ශාස්ත්‍ර හා බැඳුණි.

එබැවින් ෂෙල්ටන් ඒ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබන්නට එන පිරිස කෙරෙහි උනන්දුවක් දක්වන්නට පටන් ගත්තේය. දිනක් මෙසේ පැමිණි දෙතුන් දෙනෙකු හොරණ ප්‍රදේශයේ වෙසෙන එක්තරා සෝවාන් එලයට පත් හිමිනමක් පිළිබඳව කතා වෙනු ෂෙල්ටන්ට ඇසිණි. එම හිමියන් පිරිත් පිරිත් පැන් බලයෙන් රෝග සුව කරන කරන බවක්ද වැඩි දුරටත් ඔවුන් වෙතින් කියැවිණි. තම අභිලාෂයට බෙහෙවින් ගෝචර වන එම පුවත පිලිබඳව ෂෙල්ටන් මහත් සේ උනන්දු වන්නට විය. එහෙත් හොරණ ප්‍රදේශයේ එවැනි හිමිනමක් වැඩවෙසෙන බවක් මිස ඒ කොහෙදැයි යනුවෙන් නිශ්චිත තොරතුරක් දක්වන්නට ඒ කිසිවෙකුටත් හැකියාවක් නොතිබිණි. එහෙත් මෙය නම් ලෙහෙසියෙන් බැහැර කල හැක්කක් නොවේ. නමුදු, හරි හැටි තැනක් නොදැන සොයාගෙන යාමත් කළ නොහැකිය. ෂෙල්ටන් කුමක් කළ යුතුදැයි දින ගනනක් තිස්සේ කල්පනා කරන්නට විය. එහෙත් විශ්වයේ පවතින්න වූ පාරභෞතික පදාර්ථයන් සොයා යමේ මෙම අරමුණ ව්‍යර්ථ කර දැමිය නොහැක.

අවසානයේ ඔහු හොරණ ප්‍රදේශයට තනිවම නික්මුණි. කෙසේ හෝ ආරංචි මාර්ග ඔස්සේ ගියහොත් මේ පිළිබ්ඳව යමක් දැන ගන්නට බැරි නොවේයයි ෂෙල්ටන්ගේ සිත කීය. විශේෂයෙන් වර්තමානයේ සෝවාන් එලයට පත් හාමුදුරුවරුන් සිටීම පවා විශ්වාස කළ නොහැකි තරමේ අතිශය දුලබ සිදුවීමකි. එබැවින් එවැනි එක් හිමිනමක හෝ සිටිය හොත් ප්‍රදේශය පුරා පතල වීම ඉතා වේගයෙන් සිදුවිය හැක්කකි. විශේෂයෙන් උන්වහන්සේ පිරිත් පැන් බලයෙන් රෝග සුව කරන්නේ නම් මහත් ජනකායක් එතැනට ඇදී එනු නිසැකය. එහෙත් කිසියම් හෝඩුවාවක් මේ සම්බන්ධව දැන ගන්නට නොලැබුණෙන් ෂෙල්ටන් හොරණ ප්‍රදේශයේ එක් පන්සලකට ගොඩ වැදුනේ මේ සම්බන්ධව හරියාකාර තොරතුරක් පන්සලේ හාමුදුරුවන් වෙතින් හෝ දැනගන්නටය. එහි වැඩ සිටියේ වයසින් මෙන්ම තපසින්ද මනා පරිනත බවක් දැක්වූ මහතෙරනමකි.

"හාමුදුරුවනේ මේ හොරණ පැත්තේ පිරිත් පැන් බලයෙන් ලෙඩ සනීප කරන සෝවාන් එලයට පත්වුණු හාමුදුරුනමක් වැඩ ඉන්නවද?" පන්සලේ නායක හමුදුරුවන්ට වැඳ, අසල වූ නොඋස් බංකුවේ වඩි වූ ෂෙල්ටන් දිගු කතාවකට මුල පිරීය.

"පිරිත් පැන් බලයෙන් ලෙඩ සනීප කරන? කොහොමද එහෙම කරන්නේ?" හාමුදුරුවන්ගේ දෙබැම රැළි ගැන්වී තිබිණි.

"එහෙම තමයි දැනගන්න තියෙන්නේ"

එය ඇසූ ස්වාමීන් වහන්සේ කතා කලේ උපශාන්ත ස්වරයෙනි. "පිරිත් පැන්වලින් කොහොමද ලෙඩ සුව කරන්නේ? වෙන ආගම්වල නම් ඔය අසනීප සුව කරන ආශීර්වාද ජලය වගේ දේවල් තියෙනවා තමයි. විශේෂයෙන් ඔය ඉන්දියාවෙ ගංගා නම් ගඟේ වතුර 'තීර්ථම්' ඒ කියන්නේ ශුද්ධ ජලය හැටියට හඳුන්වනවා. ඔය ගංගා නම් ගඟට එක් නොවෙන දෙයක් නැහැ. අදටත් ඉඳහිට මිනී පවා ඔය ගඟේ පාවෙනවා. විශේෂයෙන් ඔය වසංගත රෝග පතිරෙන කාලයට ඒ ගඟේ ජලය පාවිච්චි කරන එක අන්තිම අනතුරුදායකයි. ඒත් ඒ රටේ මිනිස්සු ඒ වතුරත් ශුද්ධ ජලය හැටියට පාවිච්චි කරනවා." හාමුදුරුවන් බැරෑරුම් කතාවක් පවසන්නට යන වගක් ෂෙල්ටන්ට ගැඟිනි.

"ඔය වගේ නිසරු විශ්වාස වලට නියම බුදු දහමේ තැනක් නෑ මහත්තයෝ. අනික ඔය බොජ්ජංග සුත්‍රය අරන් බලන්න. ඒකෙ හරි අපූරුවට විස්තර කරල තියෙනවනේ මිනිස්සුන්ට ලෙඩ හැදෙන්න බලපාන හේතු. සෘතුවල වෙනස් වීම හින්දා මිනිස්සු ලෙඩ වෙනවා. ඒ වගේම තුන් දොස් කිපීමෙන් ලෙඩ වෙනවා. නොමනා පැවතුම් වලින්. ඔය වගේ ලෙඩ රෝග හැදෙන්න බලපාන හේතු ගැන ඒ සුත්‍ර දේශනාවේ පැහැදිලිවම විස්තර වෙනවා. කොටින්ම නියම බුදු දහමින් මේ ලෝකයේ යථා ස්වභාවයම තමයි මහත්තයෝ කියැවෙන්නේ. ඒත් ඒ කරණා තමන්ගේ ජීවිත වලට ආරෝපණය කරගෙන බුද්ධ දේශනාව අනුව ජීවත් වෙනවා මිසක් ඔය පිරිත් පැන් බීලා ලෙඩ සනීප කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක බුදුදහමට කරන ලොකුම නිග්‍රහයක්. ඔය කතා පසුකාලීනව අනිත් ආගම වලින් බුද්ධාගමට ඇතුළු වුණු ඒවනේ මහත්තයෝ."

ෂෙල්ටන් සාවධානව ඊට සවන් යොමු කරගෙන සිටියේය. මේ දහමට ඔහුගේ සිත බලවත් සේ ඇදී ගියත් ඔහු තුළ තවත් පැනයක් දැන් ඉතිරිව ඇත. එයද අසා දැනගන්නැයි ඔහුගේ සිත කියන්නට වුණි.

"ඒතකොට හාමුදුරුවනේ පිරිත් පැන්වල බලයක් ඇත්තේම නැද්ද?"

"මහත්තයෝ පිරිත් කියන්නේ මොනවද? බුදු බණමනේ. ඒ බුදු බණ ශ්‍රවණය කරල තමන් ඒ මාර්ගය ඔස්සේ යන බවට දෙන දෙන ප්‍රතිඥාවක් තමයි පිරිත් පැන් පානය කරන එක. එහෙම නැතුව රෝග නිවාරකයක් හැටියට පිරිත් පැන් බීම නම් තනිකරම අන්ධ විශ්වාසයක්."

"එතකොට හාමුදුරුවනේ කර්ම ශක්තිය හින්දාත් මිනිස්සු ලෙඩ වෙනවා කියලත් කියනවා නේද?"

"ඔව්, ඒකත් එක හේතුවක් විදියට බුදුහාමුදුරුවන් දේශනා කරලා තියෙනවා. නමුත් හැම රෝගයක්ම කර්ම රෝගයක් නෙමෙයි."

ෂෙල්ටන් කල්පනාවට වැටිණි. බුදුදහම යනු සැබෑම දර්ශනයකි. ඇදහිය යුතු ආගමකට වඩා පිළිපැදිය යුතු චර්යා ධර්ම පද්ධතියකි. එහෙත් සෝවාන් එලයට පත් පෙර කී හාමුදුරුවන් වැඩ වෙසෙන ස්ථානය සොයා යාම තුළින් තවත් මොන මොනවා හෝ දැන උගත යුතු යැයි ෂෙල්ටන්ට සිතිණ.

"හාමුදුරුවනේ ඔය කියන විදියට මේ කාලයේ සෝවාන් එලයට පත්වුණු හාමුදුරුවරු වැඩ වෙසෙන්න පුළුවන්ද?"

"බුදුහාමුදුරුවන් අපට දේශනා කරපු මාර්ගයේ නිසි විදියටම යනවා නම් කෙනෙකු සෝවාන් එලයට විතරක් නෙමෙයි මහත්තයො රහත් එලයට වුණත් පත්වෙන්න පුළුවන්. ඒකට මේ කාලයෙන් බාධාවක් තියෙන්න විදිහක් නැහැ. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අටුවා මතය බුද්ධ දේශනාවක් හැටියට පිළිගන්න බැහැ."

"ඒත් සෝවාන් වුණු හාමුදුරුනමක් හඳුනාගන්න ලැබෙනවා නම් හාමුදුරුවනේ..."

"ඇයි මොකටද? මහත්තයෝ."

"එතකොට අපිටත් ඒ මග හරියට වටහාගෙන ඒ මගේ යන්න පුළුවන් නේද?"

මේ තරුණයා බුදුමග කෙරෙහි මහත් උනන්දුවකින් පසුවන බව එම හාමුදුරුවන්ට වැටහිණි. ඒ සමගම ඔහුගේ නොදැනුවත්කම පිලිබඳ දයානුකම්පාවක්ද උන්වහන්සේ තුළ හට ගත්තේය.

"මහත්තයා... එහෙම කෙනෙක් දැන හඳුනාගෙන පලක් වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ අප යායුතු මාර්ගය අපට පෙන්වල දීලා තියෙනවා. ඒ මාර්ගයේ අපි තනිව යා යුතුයි. ලෝක ස්වභාවය ඒ කියන්නේ ත්‍රලක්ෂණය අවබෝධ කර ගැනීම තමන්ගේම විමසුම් නුවණින් කළ යුත්තක් මිස අනෙකෙකු අනුකරණය කිරීමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම නම් බුදුහාමුදුරුවො වැඩ වෙසෙන කාලෙ බණ අහපු හැම දෙනාම මේ වෙනකොට නිර්වාන මාර්ගයට පිවිසිලා ඉන්න ඕනනේ."

තම සිත කිසියම් අවබෝධයකින් පිරී ඉතිරී යන බවක් ඔහුට හැඟුනි. මේ හාමුදුරුවන් සමග කතාබහ කිරීම පවා සිතට සැනසිල්ල උදා කරවන්නකි. ඔහු හාමුදුරුවන්ට නමස් කාර කොට පන්සල් භූමියෙන් පිට විය.

නැවත නාලන්දාරාමයට ගියද ඔහුට කල්පනා වූයේ මේ හාමුදුරුවන් පැවසූ අදහස්මය. දැන් ඔහුට අන් සියළුම දේ කෙරෙහි කළ කිරීමක් හට ගෙන ඇත. මේ මග සොයා යා යුතුයැයි ඔහුගේ සිත කියන්නට විය. තමන්ට දැනගන්නට ලැබුණු සෝවාන් එලයට පත් හිමි නම මේ ස්වාමීන් වහන්සේම විය නොහැකිද?

ෂෙල්ටන් කාටවත් නොකියා යළිඳු අහම්බෙන් හමුවූ හාමුදුරුවන් බැහැදැකීම සඳහා එම විහාරයට ගියේය. සතියකට පමණ පසු යළි පැමිණි අසාමාන්‍ය තරුණයා ගේ රුව විහාරස්ථානයේ ගේට්ටුව අද්දරින් දිස්වත්ම ලොකු හාමුදුරුවන්ගේ මුවගෙහි සිහින් සිනාවක් සනිටුහන් විය. පෙර දිනයක තමන් වහන්සේ සොයා පැමිණි මෙම තරුණයා වත්මන් සමාජයේ තරුණයන් දහසක් වෙතින් වත් අසන්නට නොලැබෙන අන්දමේ අධ්‍යාත්මික අංශය පිළිබඳ ප්‍රශ්න සමුදායක් විමසා සිටි අන්දම ලොකු හාමුදුරුවන්ට හොඳින් මතකය. දිගු කලක් ගිහි පැවිදි සිසුන් විශාල පිරිසකගේ ගුරුවරයෙකුව සිටි තමන් වහන්සේ වෙතින් කිසියම් පැවිදි සිසු නමක් හෝ මෙවන් ප්‍රශ්න මාලාවක් විමසා සිටි බවක් ලොකු හාමුදුරුවන්ගේ මතකයේ නොවිණි.

"අවසරයි අපේ හාමුදුරුවනේ"

ස්වාමීන් වහන්සේ ඉදිරියට පැමිණි ෂෙල්ටන් තමන්ගේ සුරතෙහි වූ පොත් ගොන්න සිමෙන්ති පොළොව මතම තබා උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්ඳේය. අද සමාජයේ භිෂූන් වහන්සේ නමකට වුවද නිවැරදි ලෙස පසඟ පිහිටුවා වඳින්නෙක් වෙත්නම් ඒ කලාතුරකින් බව උන්වහන්සේ දනිති. එබැවින් මෙම තරුණයා කෙරෙහි හාමුදුරුවන්ගේ සිත තුල මහත් ප්‍රසාදයක් ජනිත විය.

"අපේ හමුදුරුවනේ, මම පහුගිය දවස්වල වෛදික යෝග ක්‍රම ගැන ඉගෙන ගන්න විදියක් ගැන හොයල බලුවා. ලංකාවේ එකට අයතන දෙකක් තියෙනවා." ෂෙල්ටන් තමන් ගෙන ආ කිසියම විස්තර පත්‍රකා කිහිපයක් ලොකු හාමුදුරුවන් අතට පත් කරමින් කීය.

"ඔව්.. ඔව්.. ඉස්සර ඉඳන්ම ඔය වගේ දේවල් අපේ රටෙනුත් මතු වෙනවා. අපෙ සමහර ගෝලයොත් ගිහින් ඕවා ඉගෙන ගත්තා. ඒත්, ඉතින් මහත්තයො ඕවා අපේ බුදුදහමට පිටස්තර දේවල්නේ. අදත් ඉන්දියාව පුරාම ඔයවගේ අර ක්‍රම මේ ක්‍රම අනුගමනය කරන අය ලක්ෂ ගනන් ඉන්නවා." ලොකු හාමුදුරුවන් ඒ පිලිබඳව කතා කරනුයේ එතරම් උනන්දුවකින් නොවන බව ෂෙල්ටන්ට පෙනෙයි..

"ඒත් අපේ හාමුදුරුවනේ ඕවාත් බුද්ධ කාලයේ ඉඳන්ම පැවතගෙන එන උතුම් ඒවා නේද?" ඔහු අසන ලද්දේ ලොකු හාමුදුරුවන් ගේ උනන්දුව පිබිදවීමට වෙර දරමිනි.

"බුද්ධ කාලයට බොහෝම කලින් ඉඳලනේ මහත්තයෝ ඕවා ඉන්දියාවේ ප්‍රචලිත උණේ. බුද්ධකාලය වෙන කොට ඕවා බොහොම ජනප්‍රිය මට්ටමකට ඇවිත් තිබුණා. ඒ නිසානෙ බුදු හාමුදුරුවෝ ඕවයේ නිසරු බව විශේෂයෙන් පෙන්නලා දුන්නේ. ඕවායින් අපිට විමුක්තිය ලබන්න බැහැ කියලා."

ලොකු හාමුදුරුවන් පවසත්ම ෂෙල්ටන් ගේ දෙනෙත කුතුහලයෙන් දීප්තිමත්ව බැබළෙන්නට විය.

"ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ඔය යෝග ක්‍රම ප්‍රතික්ෂේප කලාද?" හෙතෙම කුතුහලය මතින්ම ඇසීය.

"පැහැදිලිවම", ලොකු හාමුදුරුවන්ගේ පිලිතුර එය විය. එය ඇසූ ෂෙල්ටන්ගේ සිතට පිවිසියේ විස්මයකි.

"ඒ උනාට අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවොත් මේවා අනුමත කළා කියලා මෙන්න මේ පොතේ තියෙනවනේ."

ෂෙල්ටන් තම ෆයිල කවරය තුළින් ගත් වර්ණවත් පොත් පිංචක් ලොකු හාමුදුරුවන් ගේ සුරතේහි තබමින් කීය. එය හෙට්ටිපොල ප්‍රදේශයේ ගුණරත්න නැමැති මහතෙකු විසින් ලියන ලද යෝග ක්‍රම පිළිබ්ඳ අධ්‍යාපනික ආයතනයක නිර්මාතෘවරයෙකු ලෙසද එම පොතෙහිම දැක්වී තිබිණ.

ඔය පොතේ පැහැදිලිවම තියෙනවනේ අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවොත් පුරාතන වෛදික යෝග ක්‍රමය ගැන අනුශාසනා කරලා තියෙනවා කියලා. අර ධම්මපදයේ තියෙන යොගාවෙ ජායති භූරි-අයෝගා භූරී සංඛයෝ කියන ගථාවෙන් කියවෙන්නේ යෝග වැඩීමෙන් නුවණ වැඩෙනවා. එහෙම නොකිරීමෙන් නුවණ නැතිවෙනවා කියලලුනේ. එහෙමයි ඔය පොතේ තියෙන්නේ ෂෙල්ටන් පවසත්ම ලොකු හාමුදුරුවනේ නළලත වූ රැළි වඩාත් හොඳින් ඉලිපී පෙනිණ. උන්වහන්සේ කනප්පුව මත වූ උපැස් යුවල අතට ගෙන එය පැළඳ ගත්හ.

"කොහෙන්ද මහත්තයට මේ පොත?" උන්වහන්සේ එහි මුල මැද අග පිරික්සමින් ඇසීය.

"මට යෝග කරන කෙනෙක් දුන්න අපේ හාමුදුරුවනේ" ෂෙල්ටන් කීය.

"මේ පොතෙන් කියවෙන්නේ මහා නස්පැත්ති දායක දෙයක්නෙ මහත්තයෝ. කැමති කෙනෙක් යෝග බැරිනම් ඔනි දෙයක් කරගත්තාවේ. ඒකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. ඒත් පෞද්ගලික අභිමථාර්ත ඉෂඨකර ගන්න මේ විදියට බුදුබණත් කණපිට හරවන එකනම් සහගහන අපරාධයක්" උනවහන්සේ නොසතුටු මුහුණින් යුතුව කීය. එම පොතෙහි සඳහන් අන්දමට එහි කතුවරයා මෙරට ප්‍රමුඛතම බෞද්ධ සංවිධානයක යාවජීව සාමජිකයෙක්ද වෙයි. එය ෂෙල්ටන්ගේ විස්මය තවත් ඉහල නැංවීමට සම්ත් විණි. මෙහි සත්‍ය ඇත්තේ මේ හමුදුරුවන් වෙතද? නැතහොත් අර යෝගී ගුරුවරයා වෙතද?

“මහත්තයෝ ඔතන බුදු හාමුදුරුවෝ 'යෝග' කියන වචනයෙන් අදහස් කළේ යෝනිසෝමනස්කාරයෙන් ඒ කියන්නේ එළඹගත් මනැසින් කටයුතු කිරීමෙන් නුවණ වැඩෙනවා කියන එකයි. එහෙම නැතුව මිථ්‍යාදෘෂිටික වත් පිළිවෙත් වල යෙදීම නොවෙයි. කොටිනම විදර්ශනා භාවනාවෙන් ලොව්තුරා නුවණ වැඩෙනවා කියන එකයි. මට මතකයි ඔය කතාව. ඕක අර පොට්ඨිල හාමුදුරුවන් සම්බන්ධයෙන් නේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මහත්තයෝ ඒ කතාව තමන්ට ඔනි ඔනි විදියත් වක ගහගන්න බුදුහාමුදුරුවොත් වෛදික යෝග ක්‍රම වඩන්න කිව්ව. යාග හෝම පවත්තන්න කිව්වා කියලා ලියන මිනිස්සු හෙට අනිද්දා තව මොන මොන දේවල් ලියලා අපේ නූගත් බෞද්ධයො මොන අතකට යවාවිද දන්නේ නෑ. අනේ මෙහෙමත් දසාවක්.” ලොකු හාමුදුරුවන්ගේ ස්වරය සංවේගයෙන් බරවී ඇතිවගක් ෂෙල්ටන්ට හැඟුණි.

"එතකොට හාමුදුරුවනේ මොකද්ද මේ නිවන කියන්නේ? කොහොමද ඒ ගැන ප්‍රයෝගිකව දැනීමක් කරගන්නේ?" අනතුරුව ෂෙල්ටන් නගන ලද්දේ වෙනත් පැනයකි.

"මහත්තයා තුළත් මා තුලත් මමත්වය තියෙනවා. අපි කවුරුවුනත් සාංසාරිකවශයෙන් පවතින්නේ ඔය මමත්වය කියන දේ තියෙන තුරු විතරයි. අපිට පුළුවන් නම් අපි තුල තියෙන මේ මමත්වය නතිකරන්න ඊට පස්සේ ඒ තැනැත්තාට සාංසාරික පැවැත්මක් නැහැ. හොඳයි අපි මෙහෙම හිතමු. අපිට බුද්ධ ශාසනයක් තියෙනවා. මේ පන්සල හැදුනෙ ඒ නිසා. හොඳයි මේ ලෝකෙ බුදු දහම කියල දෙයක් නොතිබුනා නම් මෙතන මේ වගේ බෞද්ධ විහාරයක් ඉඳිවෙනවද?" ලොකු හාමුදුරුවෝ සිනා මුසු මුහුනින් යුතුව ඇසූහ.

"එහෙම නම් අපේ හාමුදුරුවනේ අපි මෙච්චර උතුම් විදියට සළකන බුද්ධ ධර්මය අවශ්‍ය වෙන්නේ ඒ මමත්වය නැතිකර ගන්න තුරු විතරනේ?" ෂෙල්ටන් ලොකු හාමුදුරුවන්ගෙන් අසන ලද්දේ විමතියෙනි.

"ඇත්තෙන්ම මහත්තයෝ බුදු හාමුදුරුවෝ තමන් වහන්සේගේ ධර්මය උපමා කරල තියෙන්නෙ පහුරකට තමයි. අරගෙන කියවල බලන්න කුල්ලූපම සුත්‍රය. ඒ සුත්‍ර දේශනාවෙ තියෙනවා මාගේ මේ ධර්මය වුනත් සංසාරෙන් එතෙරෙ වෙන්න පුළුවන් පහුරක් විතරයි කියල. බලන්න බුදු හාමුදුරුවෝ කොයිතරම් හොඳට ජනතාවට කරුණු ඉදිරිපත් කරල තියෙනවද කියල." ලොකු හාමුදුරුවෝ සන්සුන් ස්වරයෙන් පැවසූහ.

"එහෙම නම් අපේ හාමුදුරුවනේ අපිමනේ මෙ බුද්ධාගම කණපිට ගහගෙන දඟලන්නේ" ෂෙල්ටන් විස්මයෙන් යුතුව ඇසීය.

එහෙනෙහිම නැගී ගත් ලොකු හාමුදුරුවන්ගේ සිනහඩ උස් බිත්ති වලින් යුතු ආවාස ගෙය පුරා පැතිර ගිය අතර "බොහොම හරි මහත්තයෝ, බොහොම හරි" යනුවෙන් උනවහන්සේ පවසනු ෂෙල්ටන් බලා සිටියේය.

3 comments:

  1. Athi yantham thawa kotasak ekathu karala :P

    ReplyDelete
  2. එහෙම තමයි, හොඳ දේවල් සුපර් ස්ටාර්ල එනවගේ එන්නේ නෑ ;)

    ReplyDelete
  3. හාමුදුරුවෝ මැනවින් කරුණු දක්වලා තියෙනවා...

    ReplyDelete