පළමු කොටස

මා බෙහෙවින් කටුක ලෙස හදුනා ගෙන සිටි දිවි පෙවෙත අතිශය සුන්දර එකක් ලෙසින් නම්මුනි ආරච්චිගේ කුසුමාවතීට පලමු වරට පසක් වෙමින් තිබිණ. ඒ 1967 අප්‍රේල් මස 03 වෙනි දිනය. අගේ කුලූදුල් දරුවා බිහි වුයේ එදිනයි. බෙහෙවින් පැහැපත් වූද, පින්බර සුරතල් පෙනුමකින් යුතුවූද මේ කිරිකැටි බිළින්දාට ඇය ෂෙල්ටන් යනුවෙන් නම තැබුවාය. වලස්මුල්ලේ පිහිටි බෙහෙවින් පිටිසර ගම්පියසක්ව පැවති දික්හේනේ කුඩා නිවහනක් මේ පවුලට සෙවන විය.

කුසුමාවතීගේ සැමියා, ෂෙල්ටන් ගේ පියා වෘත්තියෙන් ඇදුම් මසන්නෙකි. වයස අවුරුදු 8 දී පමණ දෙකන් පැසවීම නිසා කන් ඇසීම සහමුලින්ම නැතිව ගිය ඔහු මැදිවියේ පසුවුවකු අතර කුසුමාවතී ඔහුට වඩා ළාබාල වයසක පසුවුවාය.ෂෙල්ටන්ගේ උපතින් වසරකට පමන පසු එම පවුලට තවත් ගැහැණු දරුවකුද ලැබිණි. දරුවන් දෙදෙනාව හදා වඩා ගනිමින් කෙසේ හෝ එදිනදා ජීවිකාව කරගෙන යන්නටත් මේ යුවලට පුළුවන්කම තිබිණි.

නමුත්, මේ තත්වය වැඩිකලක් පැවතුනේ නැත. බාහිරින් පැමිණි යම් යම් කරදර මේ පවුලේ සාමයට හා සතුටට බාධා පමුණුවමින් තිබිණි. තමන්ගේම ඥාතීන්ගෙන් පැමිනි මේ ගැටලූ මතින් කුසුමාවතී පත්වතිබුනේ මහත් අසරණ තත්වයකටය.

දිනක් ඇය නිවසේ කුඩා මුළුතැන්ගෙට වී දිවා ආහාරය පිසිමින් පසුවුවාය. වයස අවුරුදු දෙකහාමාරක් වූ ෂෙල්ටනුත්, අවුරුදු එකහාමරකට වඩා වයසින් වැඩි නොවූ ඔහුගේ නැගනියත් මිදුලේ සෙල්ලම් කරමින් පසුවුහ. වැඩි වේලාවක් ගියේ නැත. අමනාප වී සිටි ඥාතියා ගෙය අසලටම පැමින බැණ වදින්නට පටන් ගත්තේය.

දරුවන් දෙදෙනා බෙහෙවින් කුඩා උන් නිසා කුසුමාවතී මේ දක්වා සියල්ල ඉවසා සිටියත් එම ඉවසීමේ සීමවෙහි රතු ඉර මේ මොහොතේ පැන ගියේ බොහෝ වේගයකිනි. මෙම අවස්ථාව වන විට ඇගේ සැමියා නිවසේ සිටියේද නැත.කර කියා ගන්නට දෙයක් නැති තරමට අසරණ වී සිටි කුසුමාවතී සිතෙහි ආවේගයන් බෙහෙවින් උණුසුම් උත්සන්න තත්වයකට පැමින තිබිණ. ඇයට සහනයක් වශයෙන් දැනුනේ එකම එක දෙයකි. එනම් මේ මොහොතේදීම සිය දිවි හානි කර ගැනීමයි. දිවි හනි නොවුවත් මේ සතුරා හමුවෙහි එවන් දේකට යත්න දැරීම තුළින් හෝ ඔහුගෙන් වන කරදර හිරිහැර නිමාවේයැයි අගේ අසරණ සිත කියන්නට විය. අවසානයේ ඇය ක්ෂණිකව හිතට නැගුන අදහසක් මතින් ඒ වනවිටත් හොදින් ඇවිලෙමින් තිබූ ලිපෙහි ගිනි ඇවිලීගත් දර කැබැල්ලක් ගෙන එයින් තම ඇඳ සිටි චීත්තයට ගිනි දල්වා ගත්තාය.

2 comments:

  1. පුළුවන්නං කතාව සාරාංශගතව නැතිව තව ටිකක් සවිස්තරාත්මකව ලියපන්.
    කොහෙම වුණත් කතාව ඉවර වෙනකල් උඹත් එක්ක ඉන්නවා.
    සුබ පැතුම්!

    ReplyDelete
  2. මේක මම ලියන එකක් නෙමයි මචං, ඒ එක්කම තව පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. මම ඒ ඔක්කොම කතාව ඉවර උනහම කියන්නම්. ස්තුතියි මචෝ

    ReplyDelete