අවසාන කොටස

මාට එතාක් හිතවත්ව සිටි සියළු දෙනාවම හමුවී නැවත සිරිපා හිමය කරා යන්නට සුදර්ශ තීරණය කරන ලද්දේ ඇයි දැයි යන්න සමහරවිට දැන නොසිටින්නට ඇත. කෙසේ නමුත් තදබල ලෙස රෝගාතුරව සිටි ඔහු හිතවතුන්ගේ අවවාද පවා නොතකා මේ ගමන පිටත් වුයේ භාවනා තුලින් කිනම් හෝ ධ්‍යානයක් ලබාම මිස නැවත නොඑමැයි යන තදබල අධිෂ්ඨානයෙන් විය යුතුය. එයට එරෙහිව නැගෙන්නා වූ තම රෝග තත්වයන් චිත්ත බලයෙන් සුවපත් කර ගැනීමේ අභිලාෂය ඔහු තුල තිබෙන්නට ඇත.

1998 ඔක්තෝබර් 8 දා ඇඳිරි වැටී ගෙන එන යාමයේ සුදර්ශ, පලාබද්දල ගමේ ඔහු මවක මෙන් ප්‍රිය කල වැඩිහිටි කාන්තාවක වූ එච්ජින් ඉස්කෝලේ නෝනගේ ගෙදරට සේන්දු විය.

අම්මේ... අම්මේ... ගේ දොරකඩ වූ පඩි පෙළ මත හිඳ කිසියම් කෙනෙකු මෙලෙස කතා කරනු ඇසී එච්ජින් ඉස්කෝලේ නෝනා ගෙතුළ සිට එබී බැලුවාය.

ආ... මේ සුදර්ශ පුතානේ... අද මේ හැන්දෑ වෙලා මොකද මේ පැත්තේ? හිමෙටවත් යන්න හිතුවද?

ඇය ඇසුවේ සැකමුසුවය. ඇය සුදර්ශගේ හැටි යම් පමණකට දනී. ඔහු අවිහිංසකය, මෘදුය, එමෙන්ම හිතුවක්කාරය. කිසිවෙකුගේ කීමට අවනත වීම ඔහුගේ සිරිත නොවේ. කිසියම් ආකාරයකින් ඔහු මේ හැන්දෑ යාමයේ හිමය තරණය කිරීමට ගියහොත් එය කිසිසේත් හිතකර දෙයක් වන්නේ නැත. එදින උදයේ සිටම හිමයට එකකරවම මහා වැසි ඇද හැලුණි. සිරිපා හිමයේ සිට කිරි පැහැයක් නංවමින් වේගයෙන් පහලට ඇදෙන වතුර ගොබය හරියටම දිස්වන්නේ කුරිරු වෙසින් ඇදෙන යෝධ සර්පයන් බඳුවය. තදබල වැසි නිසාම සිරිපා හිමයේ නිරතුරුවම පවතින තද ශීතල ස්වභාවය දැන් ඊට වැඩ කිහිප ගුණයකින් ඉහල නැග ඇතිබව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවන් තත්වයක් යටතේ සුදර්ශ යම් හෙයකින් එදින සිරිපා හිමය බලා පිටත් වුණහොත් එය අතිශයින්ම අවදානම් එමෙන්ම අනුවණකාරී ක්‍රියාවකි. එච්ජින් ඉස්කෝලේ හාමිනේ සුදර්ශ දුටු ගමන් කල්පනා කරන්නට වුයේ ඒ ගැනය.

"මං හිමෙට යන්න කලින් අම්මටත් කියල යන්න අවා" සුදර්ශ සුපුරුදු ශාන්ත ස්වරයෙන්ම පැවසීය.

"හිමේ යන්න ?" එච්ජින් ඉස්කෝලේ හාමිනේ මහත් විමතියෙන් යුතුව විමසුවාය.

"ඔව් මං දැන් පිටත් වෙන්න ඕනි"


"මේ දැන් ? හැබෑටම පිස්සුද ඔය ළමයට?" සුදර්ශ වළකාලන්නට එච්ජින් ඉස්කෝලේ හාමිනේ දුන් අවවාද අනුශාසනා ප්‍රමාණවත් නොවීය. ඔහු ඒ වනවිටත් නතර නොවී පවතී පොද වැස්සේම හිසට කිසිදු ආවරණයක් හෝ නැතිවම මහා වන්ගහණයෙන් වැසිගත ශ්‍රීපාද මාර්ගයට නික්මුණි. ඉන්පසුව සුදර්ශ කල කී දේවල් දැනසිටියේ ගිරිදුර්ග වලින් වැසීගත් උමතු කාලගුණික විපර්යාසයන්ගෙන් පිරිපුන් තද ශිතලකින් වැසී තිබූ එම වනගහනය පමණි.

 
ශ්‍රීපාදස්ථානයේ මුරකරු තිස්ස කුමාර
ඔක්තෝබර් 10 දා උදාවිය. සිරිපා මළුවේ මුරකරු වන තිස්ස කුමාර තම කුටියේ සිට එදින උදයේ හැරමිටිපානේ අම්බලම තෙක් එන්නට කන්ද බසිමින් සිටියේය. සුළං කපොල්ලට මදක් පහලින් කවුදෝ අමුතු ඉරියව්වකට නිදා හිඳින අයුරක් තිස්ස කුමාරට පෙනිණ. එලෙස වැතිර සිටියේ සුදර්ශය.. නිකන්ම නොවේ. ප්‍රාණය නිරුද්ධ සිරුරෙන් යුතුවය.

වර්තමාන විපරිත සමාජ තලයේ සිට සත්‍ය සොයා වැරදි මගින් ඉරණම ගමනක් ගිය සුදර්ශ සිරිපා මළුව යම් පමණකට පෙනෙනතෙක් මානයේ මෙසේ අප්‍රාණික සිරුරින් යුතුව ජිවිතයෙන් සමුගෙන තිබිණ. ඔහුගේ එම ගමන එතනින් නිමාවට පත්විය.

වලස්මුල්ලේ පවතී ශේල්ටන්ගේ අවමගුලට සහභාගී වී සිටි පිරිස අතර නෑදෑයන් සහ අසල්වැසියන් තරමටම භාහිරින් පැමිණි පිටස්තර පුද්ගයන්ද වුහ. ඔහු සමාජයේ විවිධ තරාතිරම්වල අය හා සබඳතා පවත්වා තිබූ බව මින් පැහැදිලි විණි. ඉන් සමහර කොටසක් තවත් කොටසක්ව දැන හදුනාගෙන සිටියේ නැත. මේ පිරිස අතර බෞද්ධ සංවිධාන කිහිපයක සාමාජිකයන්ද සිටිනු දක්නට ලැබිණි. මෙහිදී ඔවුන්ගෙන් වැඩි පිරිසක් ෂෙල්ටන් දැනසිටියේ සුදර්ශ නමිනි. ඔහු මීට කලකට ඉහතදී තම ෂෙල්ටන් යන නම සුදර්ශ වශයෙන් නිත්‍යානුකුලව වෙනස් කරගෙන ඇති බව ඔහුගේ සමීපතයින් පවා දැනගත්තේ ඒ මොහොතේදීය. සමහරකුගේ මතය වුයේ මෙම සුදර්ශ පෙරුම්පුරන බෝධිසත්වයෙකු විය හැකි බවය. එසේම මොහු චිත්ත බලය මතින් යම් යම් ශක්තීන් ඇතිකරගත් අයෙකු වශයෙන් තවත් කෙනෙක් අදහස් දැකුවුහ. කෙසේ වුවද හිමාල වනයෙහි භාවනාවෙහි යෙදුනු එකතරා භාවනායෝගියෙකු වෙතින් භාවනාව ඇතුළු තවත් යම් යම් හැකියාවන් ප්‍රගුණ කල අයෙකු වශයෙන් සුදර්ශ පිළිබඳව බොහෝ දෙනෙක් දැන සිටියහ. අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් වෙතින් භාවනා සම්බන්ධ උපදෙස් ලත් අයෙකු වශයෙන්ද සුදර්ශ පිළිබඳව තව කෙනෙකු අදහස් පළකොට තිබිණි. යම් යම් රෝග සඳහා චිත්ත බලයෙන් ඖෂධ නියම කිරීමේ හැකියාවක්ද මෙම මියගිය තරුණයා සතුව පැවතිබව හෙළි විය. මින් දහසක කිහිපයකට ප්‍රථම මෙරට සිටි කීර්තිමත් සංඝ පීතෘවරයෙකු වුව පුජ්‍ය මිගෙට්ටු වත්තේ ගුනාන්ද හිමියන්ගේ ආත්මය හෝ එවන් ශක්තියක් උපයෝගී කරගෙන් රෝග සුව කිරීමේ හැකියාවක් සුදර්ශ තුල තිබූ බව ඔහු පිළිබඳව දත්, ඔහු ලඟින් ඇසුරු කල කිහිප දෙනෙකුම කියා තිබිණ. 

කෙසේ වුවද මියගිය තරුණයා හරියටම කුමන ආකාරයේ පුදගලයෙක්ද යන්න නිවැරදිව හඳුනා ගත් කිසිවෙකු නොවූ බව පළ විණි. සත්‍ය වශයෙන් ඔහු කවුද? යන්නට සෘජු පිළිතුරු වශයෙන් විවිධ මත විවිධ පුද්ගලයන පල කරද්දී නිශ්චිත නිගමනයක් නොමැතිව සුදර්ශ සිය අවසන් ගමන් ගොස් තිබිණි.

ශ්‍රීපා හිමයේ අප්‍රකටව බවුන් වඩන යෝගාවචරයන් සිටින බවට අදටත් සමහරු විශ්වාස කරති. නමුත් ඒ පිළිබඳව පැහැදිලි තොරතුරක් දැක්වීමට අසීරුය. එසේ වුවද වරින් වර හිමයට් ගොස් බවුන් වදන පුද්ගයන් කලින් කලට දැකීමට පුළුවන. මේ අතරින් සුදර්ශ විශේෂ කෙනෙක් වශයෙන් දැක්විය හැක. මෙලෙස අකල් වියෝවකින් සදහටම මෙලොව හැර ගියද ඔහු මේ ගිය ගමන නිශ්චිත අරමුණක් අති එකක් වශයෙන් ඒ පිළිබඳව කතා බස් කල බොහෝ දෙනෙක් අදහස් දක්වූහ.

මේ කාලය වන විට සිරිගැමුණු සංවිධානයද විසිර ගොස් පැවතියේය. සුදර්ශ මහත් ඉහලින් පිළිගෙන තිබූ චන්න මහත්තයා ද මේ වනවිට ජිවතුන් අතරින් සමුගෙන ගොස තිබිණි. උගතෙක් හා ධනවතෙකු වුද චන්න මහත්තයා සුදර්ශට මුණගැසෙන කාලය වනවිට සිටියේ නිරවුල් මනසකින් නොවන බව ඒ වන විට හෙළිවී තිබිණ. ඔහු පැවසූ දේවල් සහ බාහිර ස්වරුපයද එයට සාක්ෂි වශයෙන් පැවතියද සුදර්ශට පවා මුලදී ඒ ගැන වැටහීමක් තිබුනේ නැත. කෙසේ හෝ එංගලන්තයේ පදිංචිව සිටි චන්න මහත්තයාගේ දියණියක ලංකාවට පැමිණ ඔහු බලහත්කාරයෙන් කැටුව ගොස් තිබිණි. ඉන් සෑහෙන කලකට පසුව ඔහු ඒ රටේදීම මිය ගියේය. විසිර පැවති සිරි ගැමුණු සංවිධානයට අයත්ව චන්න මහත්තයා දී තිබූ රු. ලක්ෂ හතළිහකට ආසන්න මුදලද කිසියම් අවිදිමත් ක්‍රමයකට දිය වී යන්නට ඇත. ඒ වනවිට එම මුදල මුල්කොටගෙන සාමාජිකයන් අතර පැවති හොඳ හිතාද බොහෝ දුරට පළුදුවී තිබිණි. වර්තමානයේ ජන සමාජයේ ආගම දහම හා මුසුව බොහෝවිට මතුවන්නේද මිත්යාවමය. බුදු දහම සම්බන්ධයෙන් මෙසේ මිත්‍යාවන් මතුවීමේ සීග්‍ර ප්‍රවනතාවයක් දක්නා ලැබේ. ඒ අනුව යමින් මිත්‍යාව සත්‍ය වශයෙන් වටහාගෙන හිතුවක්කාර මගක් ඔස්සේ විමුක්තිය සොයා ගිය වත්මන් සමාජයේ සුවිශේෂ චරිතයක් වූ ෂෙල්ටන් රාජපක්ෂ හෙවත් සුදර්ශ ඇද අප අතර නැත. ඔහු පිලිබඳ ඇති එකම මතක සැමරුම ලෙස ඉදි කරන ලද කුඩා සොහොන් කොතක් වලස්මුල්ල සුසාන භුමියෙහි අදද පවතියි.


1 comment:

  1. ස්තුතියි මේ කතාව අපිත් එක්ක බෙදා ගත්තාට

    ReplyDelete