දහහත්වන කොටස

ශ්‍රී පාද අඩවියේ සුදර්ශ
භාවනානුයෝගිව සිටි ස්ථානය
වෙත යන ඔහුගේ ඥාති පිරිස
ක්තරා උදැසනක නාඳුනන හඬකින් කිසිවෙක් "අම්මේ" යනුවෙන් ආමන්ත්‍රණය කරනු සිරිපා අඩවියෙහි පලාබද්දල ගමේ වෙසෙන එච්ජින් ඉස්කෝල හාමිනේට ඇසිණි. දොරකඩට පිටුපා යම් වැඩක නිරත වී සිටි ඇය පසුපස හැරී බැලුවාය. ඇය දුටුවේ සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසීගත් පැහැපත් පෙනුමකින් යුතු තරුණයෙකි. උරහි බැගයක්ද එල්ලාගෙන සිටි ඔහු තමා මීට පෙර දැක නොතිබුණද "අම්මේ" යනුවෙන් කල ඇමතුමත් මුහුණේ රැඳී තිබූ සුහදශීලි සිනාවත් මතින් ඔහු කෙරේ එච්ජින් ඉස්කෝලේ හාමිනේගේ සිතේ දයාවක් ඇතිවිය. වසර හතළිහකට වැඩි කාලයක් ගුරුවරියක් වශයෙන් සේවය කර දැනට විශ්‍රාම ගොස් ජිවිතයේ සැන්දෑ සමය පසුකරමින් හිඳින ඇයට නොයෙකුත් තරාතිරම්වල දරුවන් පිළිබඳව විවිධ අත්දැකීම් රාශියක් ඇත. විශේෂයෙන් උපන්දා සිට සිරිපා අඩවියෙහි පලාබද්දල ගමේ විසු ඇයට වන්දනාකරුවන්ගේ එදා සහ අද පවතින වෙනස මැනවින්ම පෙනේ. විශේෂයෙන් වන්දනා කාලයට සිරිපා හිමය තරණය කරන තරුණ පිරිස තුල හික්මීමක් සහ විනයවත් බවක් දැක ගන්නට ඇත්තෙම නැති තරම්ය. එහෙව් කාලයක තමා කාරුණික ස්වරයෙන් "අම්මේ" යනුවෙන් ඇමතූ මේ නන්නාදුනන තරුණයා කවුද?

"මේ පුතා කවුද?" එච්ජින් ඉස්කෝල හාමිනේ ආදරණිය හඬකින් විමසුවාය.

"මං සුදර්ශ කියල කෙනෙක් අම්මේ. හිමේ භාවනා කරන්න හොඳ තැනක් හොයනවා. මං අහලා තියෙනවා බෑන සමනොළ කුණුදිය පර්වතේ එහෙම ඒවගේ භාවනා කරන්න සුදුසු තැන තියෙනවා කියල."

එච්ජින් ඉස්කෝල හාමිනේට දැනුනේ තමා ඉහලට ගත් හුස්ම පහලට ගැනීමටත් අමතක වූ නියාවකි. උපන්දා සිටම මෙහි ජිවත් වන ඇයට සිරිපා හිමය ගැන අමුතුවෙන් දැනගැනීමට දෙයක් නොමැති තරම්ය. එහි සමහර කාලවලට නිරතුරුව පවත්නා සුළං කෝඩ වැහි කුණාටු සාමාන්‍ය මිනිසෙකුට ඔරොත්තු දෙන්නේ නැති තරම්ය. උඩට යන්නට යන්නට වතුරෙහි ඝනත්වය කෙතරම් වැඩිවන්නේද කිවහොත් වැසි බිංදුවක් සිරුර මතට වැටෙන විටත් එතැන රිදුම් දෙන සුළු බවක් දැනේ. එසේම අලින් මෙන්ම දිවියන් වැනි වනසතුන් ගෙන්ද මෙහි අඩුවක් නැත. එවන් තත්වයක් යටතේ මෙවන් තරුණයෙකු කෙසේ සිරිපා හිමයට යන්නද?

"අපොයි පුතේ ඔය හිතන තරම් ලේසි නෑ මේ අවාරේ කන්ද නගින එක. අනික ඔච්චර ගියේ නැති වුනාට මේ බලවන ඇඳිරි කැලේ වගේ දිහාකට ගියා නම් භාවනා කරන්න හොඳ තැන් තියෙනවනේ."

"නෑ අම්මා මං මේ ගමන ආවේ ලොකු අධිෂ්ටානයකින්. ඒ නිසා මං යන්න ආ ගමන යන්නම ඕනේ."


එච්ජින් ගුරු මහත්මිය
මේ තරුණයාගේ මතුපිටින් පෙනෙන ලාමක බව අභ්‍යන්තරයෙහි නොමැති බව එච්ජින් ඉස්කෝලේ හාමිනේට වැටහිණි. ඔහු සිත දැඩි බැවින් යුක්තය. අධිෂ්ඨානයද නොසැලෙන සුළු බව පෙනේ.

තමාගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන බී පිටත් වන්නට සුදානම් වූ ඔහුට ගෙන යන්නට දෙන්නේ කුමක් දැයි කල්පනා කරද්දී ඊයේ හැන්දෑවේ සෑදූ අග්ගලා තවත් ඉතිරි වී ඇති බවට ඇයට සිහිපත් විය. ඇය අග්ගලා පාර්සලයක් බැඳ සුදර්ශ අත තබා ඔහුට සමන් දෙවියන්ගේ අශීර්වාදයද පැතුවාය.

කාලය අනුව බැලුවොත් මේ වන විට වසර ගණනක් ගතවී ගොසිනි. සුදර්ෂ්ගේ සුළු මවද මීට වසර ගණනකට පෙර හදිස්සියේ මිය ගොස් සිටියාය. ඇය මිය ගියේ නිකන්ම් නොවේ, සිය දිවි නසා ගැනීම තුලිනි. සුදර්ශගේ මව ගිනි තබා ගෙන සියදිවි නසා ගත් අතර සුළු මව වස බී දිවි නසා ගත්තාය. සුළු මව එසේ දිවි නසා ගැනීමට බලපෑවේ රන්මාලයකි. මගුල් ගෙදරකට පැළඳගෙන යාම් සඳහා වෙනත් කෙනෙකුගෙන් ඉල්ලා ගත් මාලයක් සොරුන් විසින් කඩාගෙන යාම නිසා ඇතිවූ හිත වේදනාව මත ඇය වස බී ජීවිතය තොර කර ගත්තාය.

වසර ගණනක් මෙසේ ගත වෙද්දී සුදර්ශගේ ජීවිතයත් නවතම මගකට යොමුව තිබිණ. ඔහු සිරිපා හිමයට භාවනා කිරීම සඳහා නික්ම ගියේ බොහෝ කලක පටන් ඔහුගේ සිතේ පවතී අපේක්ෂාවක් මුදුන් පත් කර ගැනීමක් වශයෙනි.

කෙසේ වුවද එදා තමාගෙන් සමුගෙන සිරිපා හිමයට යන බව පවසා පිටත් වූ තරුණයා නැවත ආපසු යනු එච්ජින් ඉස්කෝලේ හාමිනේ දුටුවේ නැත. ඔහුට කුමක් වන්නට ඇතිදැයි ඇය මහත් විස්සෝපයෙන් යුතුව සිතන්නට වුවාය.


වාද්දුව ප්‍රදේශයේ සිරි ගැමුණු නමින් එකතරා සංවිධානයක් මේ කාලයෙහි ක්‍රියාත්මක විය. විශ්ව පදාර්ථය නම් වූ අධි භෞතික බලවේගයක් මගින් ලොව බොහෝ නියාමයන් වෙනස් කල හැකි බව මේ සිරිගැමුණු සංවිධානයට සම්බන්ධ වුවන්ගේ දැඩි විශ්වාසය වී තිබිණ. ඉතිහාසයේ සිදුවූ කිසිම සිදුවීමක් නැවත එලෙසින්ම සිදුවන්නේ නැත යන්න ලෝක නියාමයකි. එසේම බුදුන් වහන්සේ පවා දේශනා කරන ලද්දේ වරක් සිදු වූ කිසිවක් ඒ අයුරින්ම නැවතත් කිසිවිටෙක සිදු නොවන බවයි. බුදුදහමේ විපරිනාමය යනුවෙන් හඳුන්වන්නේ එයයි. නමුත් සිරි ගැමුණු සංවිධානයට සම්බන්ධ වුවන් දැරූ ආකල්පයන් අනුව ඔවුන් නොදැනුවත්වම බුදුවදන පවා ඔවුන් වෙතින් ප්‍රතික්ෂේප වී තිබිණ. අතීතයේ මෙරට විසු දුටු ගැමුණු රජ දැන් යලිත් මෙරට ඉපදී සිටින බවත් ඔහු සිටින්නේ සිරිපා හිමයට ආසන්නයේ බවත් එම දස මහා යෝධයන් සහ කඩොල් ඇතා පවා යලි බිහිවී ඇති බවත් විශ්වාස කල ඔවුහු අනාගතයේ යම් දිනෙක මොවුන් එක්ව මෙරට දුටුගැමුණු යුගයේ ඇතිවූ ශාසන සහ ආගමික පුනරුදය යලි ඇතිකරන බවත් විශවාස කළහ. ඒ සඳහා මිරිස් ගල් බඳු මැණික් ගල් සිරිපා ප්‍රසේශයෙන් මතුවන බවත් එමගින් යලි මෙරට සෞභාග්‍යමත් වන බවත් සිරිලක නව දුටුගැමුණු පාලනය තුලින් එක්සේසත් වන බවත් ඔවුහු තරයේ විශ්වාස කළහ. ඔවුන් එම කරුණු දැනගෙන ඇත්තේ කිසියම් වශිකරන ඇනවුම මාධ්‍යයකිනි. චිත්ත බලයෙන් අහසින් යාම, චිත්ත බලයෙන් අතීතයට සහ අනාගතයට යාම, අවකාශයේ දී අතීතයේ විසුවන් සහ අනාගතයේ බිහිවන්නන් හමුවීම වැනි විවිධ දේවල් සිදු කල හැකි බවද විශ්වාස කළහ. මෙම සිරි ගැමුණු සංවිධානයට චන්න මහත්තයාද සම්බන්ධ වී සිටි අතර ඒ අනුව සුදර්ශ ද එහි සාමාජිකයෙක් විය. සිරිපා හිමයෙහි යම් දුරක් ගිය ඔහු එහිසිට ආපසු විත් මීළඟට චන්න මහත්තයා සමග වාද්දුවට පැමිණ තිබිණ.

1 comment:

  1. කතාව දාන්න ප්‍රමාද කරන්න එපෝ :)

    ReplyDelete