පළමු කොටස

මා බෙහෙවින් කටුක ලෙස හදුනා ගෙන සිටි දිවි පෙවෙත අතිශය සුන්දර එකක් ලෙසින් නම්මුනි ආරච්චිගේ කුසුමාවතීට පලමු වරට පසක් වෙමින් තිබිණ. ඒ 1967 අප්‍රේල් මස 03 වෙනි දිනය. අගේ කුලූදුල් දරුවා බිහි වුයේ එදිනයි. බෙහෙවින් පැහැපත් වූද, පින්බර සුරතල් පෙනුමකින් යුතුවූද මේ කිරිකැටි බිළින්දාට ඇය ෂෙල්ටන් යනුවෙන් නම තැබුවාය. වලස්මුල්ලේ පිහිටි බෙහෙවින් පිටිසර ගම්පියසක්ව පැවති දික්හේනේ කුඩා නිවහනක් මේ පවුලට සෙවන විය.

කුසුමාවතීගේ සැමියා, ෂෙල්ටන් ගේ පියා වෘත්තියෙන් ඇදුම් මසන්නෙකි. වයස අවුරුදු 8 දී පමණ දෙකන් පැසවීම නිසා කන් ඇසීම සහමුලින්ම නැතිව ගිය ඔහු මැදිවියේ පසුවුවකු අතර කුසුමාවතී ඔහුට වඩා ළාබාල වයසක පසුවුවාය.ෂෙල්ටන්ගේ උපතින් වසරකට පමන පසු එම පවුලට තවත් ගැහැණු දරුවකුද ලැබිණි. දරුවන් දෙදෙනාව හදා වඩා ගනිමින් කෙසේ හෝ එදිනදා ජීවිකාව කරගෙන යන්නටත් මේ යුවලට පුළුවන්කම තිබිණි.

නමුත්, මේ තත්වය වැඩිකලක් පැවතුනේ නැත. බාහිරින් පැමිණි යම් යම් කරදර මේ පවුලේ සාමයට හා සතුටට බාධා පමුණුවමින් තිබිණි. තමන්ගේම ඥාතීන්ගෙන් පැමිනි මේ ගැටලූ මතින් කුසුමාවතී පත්වතිබුනේ මහත් අසරණ තත්වයකටය.

දිනක් ඇය නිවසේ කුඩා මුළුතැන්ගෙට වී දිවා ආහාරය පිසිමින් පසුවුවාය. වයස අවුරුදු දෙකහාමාරක් වූ ෂෙල්ටනුත්, අවුරුදු එකහාමරකට වඩා වයසින් වැඩි නොවූ ඔහුගේ නැගනියත් මිදුලේ සෙල්ලම් කරමින් පසුවුහ. වැඩි වේලාවක් ගියේ නැත. අමනාප වී සිටි ඥාතියා ගෙය අසලටම පැමින බැණ වදින්නට පටන් ගත්තේය.

දරුවන් දෙදෙනා බෙහෙවින් කුඩා උන් නිසා කුසුමාවතී මේ දක්වා සියල්ල ඉවසා සිටියත් එම ඉවසීමේ සීමවෙහි රතු ඉර මේ මොහොතේ පැන ගියේ බොහෝ වේගයකිනි. මෙම අවස්ථාව වන විට ඇගේ සැමියා නිවසේ සිටියේද නැත.කර කියා ගන්නට දෙයක් නැති තරමට අසරණ වී සිටි කුසුමාවතී සිතෙහි ආවේගයන් බෙහෙවින් උණුසුම් උත්සන්න තත්වයකට පැමින තිබිණ. ඇයට සහනයක් වශයෙන් දැනුනේ එකම එක දෙයකි. එනම් මේ මොහොතේදීම සිය දිවි හානි කර ගැනීමයි. දිවි හනි නොවුවත් මේ සතුරා හමුවෙහි එවන් දේකට යත්න දැරීම තුළින් හෝ ඔහුගෙන් වන කරදර හිරිහැර නිමාවේයැයි අගේ අසරණ සිත කියන්නට විය. අවසානයේ ඇය ක්ෂණිකව හිතට නැගුන අදහසක් මතින් ඒ වනවිටත් හොදින් ඇවිලෙමින් තිබූ ලිපෙහි ගිනි ඇවිලීගත් දර කැබැල්ලක් ගෙන එයින් තම ඇඳ සිටි චීත්තයට ගිනි දල්වා ගත්තාය.

දෙවන කොටස

තුරා පැත්ත පළාතක නොරැදී යන්නට ගියේය. අම්මා කෑගසන හඩ ඇසී කුඩා ෂෙල්ටන් හැරී බැලූවේය.

“නංගියේ අම්මා...” යනුවෙන් තනමින් පැවසූ මේ කුඩා දරුවා මව සමීපයට දිව එන්නට විය. ඒ පසුපසින් කුඩා දැරියද විය.

මේ දරුවන් දෙදෙනා නොතේරුම්කම මතින් දැන් තමාව අල්ලා ගැනීමට උත්සාහ කරන බව කුසුමාවතීට වහ වහා හැඟී ගියේය.එසේ වුවහොත් සිදුවෙන්නේ සුවිසල් අනතුරකි.

“එන්න එපා පුතා, නංගිත් එක්ක ගෙට යන්න” යැයි ඇය බිම වැතිරී කෑ ගැසුවාය. එහෙත් කෑගසන මව දැක මේ දරු දෙදෙනා උනුන්ද කෑගසමින් තව තවත් මව වෙත ළං වෙමින් සිටියහ. මෙය නම් කිසිසේත් හොඳක් නොවන බව දැල්වෙන ගින්නෙන් සිරුරෙහි නැගෙන දැඩි වේදනාව අතරේම කුසුමාවතීට හැඟිණි. ඇය ආයාසයෙන් නැගිට දරුවන්ට තමා ඇල්ලීමට නොහැකි වන පරිදි දිව යන්නට වුවාය. එසේ දිව යද්දී වැදෙන සුලං පහර හමුවේ ඇගේ ඇඳිවතට ඇවිලී තිබූ ගින්දර තව තවත් බුර බුරා නැගුණි. විලාප නගමින් අසල්වැසි නිවසක් කරා දිව ගිය කුසුමාවතී බිම ඇද වැටුණාය.
වහා පැමිණ එම නිවසේ කීප දෙනෙක් අතරින් එක් අයෙක් කුඩ දරුවන් දෙදෙනා අල්ලාගත් අතර තවත් කිහිප දෙනෙක් කුසුමාවතීගේ සිරුරෙහි ඇවිලෙමින් පැවති ගින්න නිවා දැමූහ. වහා ක්‍රියාත්මක වූ ඔවුහු ඇය මාතර රෝහල කරා ගෙන ගියහ.

දින දහයක් තිස්සේම කුසුමාවතී රෝහල තුළට වී නොවිඳිනා දුක් වින්දාය. තම කුඩා දරුවන් දෙදෙනා ඇගේ සිතෙහි නිරන්තරව මැවී පෙනෙමින් ඇයට වද වේදනා දෙන්නට විය.

“අනේ මගේ පොඩි උන් දෙන්නා” ඇය සිරුරෙන් නැගෙන අධික වේදනාවන් හමුවේම වරින් වර කියා ගත්තාය.

“දෙවියනේ කොහොම හරි මට සනීප වුණොත්” ජීවිතය පිළිබඳව යළි ඉපදී තිබූ ආසාවෙන් යුතුව ඇය එලෙසෙද සිතුවාය.

“ළමයි දෙන්නා මං නැතුව අඬනවා ඇති. දෙයියනේ මොකද්ද මං මේ කර ගත්තේ” කුසුමාවතී දවසට සිය දහස් වතාවක් තමන්ගෙන්ම අසා ගත්තාය.

එහෙත් දින දහයක් තිස්සේ අනේක විධ දුකක් විඳි ඇය අවසානයේ මිය ගියාය.

ලද බොළඳ වියේදීම ෂෙල්ටන් සහ ඔහුගේ නැගෙණියටත් සිය මවගේ උණුසුම සහ සෙනෙහසද එලෙස අහිමිව ගොස් තිබිණි. අම්මගේ සිරුර වසා සනිමින් රතු පැහැති ගිනි ජාලාවක් ඇය වටා ඇවිලී යමින් තිබූ හැටි ෂෙල්ටන්ගේ මනැසෙහි වරින් වර ඇඳෙමින් පැවැතියේය. නැගණිය කුඩා බැවින් ඇයට ඒ ගැන ඒ තරම් තෙරුමක් නොවන්නට ඇත. කෙසේ වුවද මවගෙන් ලද සෙනෙහස සේම මව ගිනි ජාලාවෙන් වැසී ගිය අයුරුද නොමැකෙන ලෙසින් සිත්තම් වෙමින් ඔහු වැඩි වියට පත් වූ පසුවද ඔහුගේ සිත වරින් වර ගිලන් කරමින් තිබිණි.

තුන්වන කොටස

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් ෂෙල්ටන් ඉන්පසු තම පාසල් දිවියට ආයුබෝවන් කීවේය. මේ සියළු දෙය නිෂ්එල දේවල් ලෙස ඔහුට පෙනුනා විය හැකිය. කෙසේ වෙතත් ෂෙල්ටන්ගේ ලොකු තාත්තා කෙනෙකු ඔහුව තම නිවසට කැඳවා ගෙන ගොස් නතර කර ගනු ලැබුයේ පිරිමි දරුවෙකු නැති අඩුව පිරිමසා ගැනීමටත්. මව නැති මේ අසරණයාට යම් උපකාරයක් කිරීමේ අදහස ඇතිවය.

ලොකු තාත්තා ෂෙල්ටන්ව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා ඉංග්‍රීසි පංතියකට ඇතුලත් කලේය. බණ්ඩාරනායක මහතාගේ සියළු අපේක්ෂාවන් නිෂ්එල කරමින් ෂෙල්ටන් සිය ඉංග්‍රීසි පාඨමාලාව අසාර්ථක කරගෙන තිබිණි. නමුත් ඉන් අධෛර්යමත් වන්නට තරම් බණ්ඩාරනායක මහතාගේ හිත ලාමක වූයේ නැත. ඔහු යළි ඒ පිළිබඳව සිතන්නට විය. ඊළඟ සියවස වන විට පරිගණකය අප රටට නැතිවම බැරි භාණ්ඩයක් වන බවට කිසිදු සැකයක් නැත. මේ අනුව අනාගතයේ හොඳ රැකියාවක් කිරීමට නම් පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වීමද වළක්වනු නොහැකිය. එනිසා බණ්ඩාරනායක මහතා ඒ පිළිබඳව සොයා බලන්නට උනන්දු විය. කොළඹ 02, ගංගාරාමයේ පරිගණක පාඨමාලාවකට ෂෙල්ටන්ව ඇතුළත් කිරීමට බණ්ඩාරනායක මහතා ඊළඟට පියවර ගත්තේය.

ලොකු තාත්තාට “බැහැ” යි කියන්නට බැරි කමට ෂෙල්ටන් ද ගංගාරාමයට ගියත් ඔහුට මෙය පෙනුණේ මහත් වූ නිෂ්එල කාරියක් ලෙසිනි. මේ සියළු දෙයින්ම කෙරෙන්නේ පුද්ගලයෙකු භෞතික දියුණුව සඳහා මග පාදා දීමකි. එහෙත් තමා සොයමින් සිටින්නේ එවැන්නක් නොවේ. හුදෙක් අධ්‍යාත්මක විමුක්තියකි එසේ නම් මින් මා වැන්නෙකුට ඇති එලය කුමක් දැයි ඔහුට අනේක වාරයක් සිතෙන්නට විය. පරිගණකය යනු කෘතිම මිනිස් මොළයකි. තමන්ගේ මොළයෙන් පරිගණකය නිපදවූ මිනිසා එමගින් තමාගේ මනසේ බර සැහැල්ලු කර අස්වැසුමක් ලැබීමට ඉටාගෙන ඇත. ඒ උදෙසා තමන්ගේ කටයුතු සෑහෙන්න කොටසක් ඔහු මෙම කෘතිම මොළයට පවරා තිබේ. එහෙත් මෙවැනි යන්ත්‍ර මගින් කිසිවිටෙකත් මිනිසාගේ අධ්‍යාත්ම ශක්තීය දියුණු කර ගැනීම උදෙසා ප්ටිවහලක් ලැබෙන්නේ නැත. හැරත් මිනිස් මනසේ ශක්තිය යන්ත්‍රයකට දෙවැනි කිරීම ලජ්ජාසහගත දෙයක් ලෙස ඔහු කල්පනා කළේය.

සැබවින්ම මේ සියලුම දේවල් අතිශයින් නිෂ්එල කාර්යයන් නොවන්නේද? ෂෙල්ටන් තමා සමග තනිව සිනාසුණි. ඔහු යන්නන් වලේ ගංගාරාමයට ගියේය. එහෙත් උගත් දෙයක් නැත. පන්තියේ නියමිත කාලසීමාව නිම වූ පසු යලිදු ආපසු හිස් මනැසින් නාලන්දාරාමයේ සිය නවාතැනට පැමිණියේය. තමන් සොයනුයේ ආධ්‍යාත්මික පිපාසය සංසිඳුවන දෙයකි. එහෙත් දැන් තමන් අභිමුවෙහි ඇත්තේ හුදෙක් මිරිඟු දියක් පමණි. සමහර දිනවලට පන්තියේ නික සිටින්නට අලසකමක් දැනුණොත් ඔහු ගිය පයින්ම ආපසු පැමිණෙන්නටද පුරුදු වුණි.

"මොකද බං උඹ ගියේ නැද්ද පන්තියට" ලොකු තාත්තා ප්‍රශ්න කරද්දී ඔහුගේ මූහුණ බලා සෘජුව ඇත්ත පවසන්නට තරම් දිරියක් ෂෙල්ටන් සතුව නොතිබිණි. "අද සර් ඇවිත් නෑ" ඇත්ත කිව්වොත් ලොකු තාත්තාගේ සිත තැලෙන්නට ඉඩ ඇති බැවින් ඔහු බොරුවක් කීවේය. මාසයකට දවස් කීපයක්වත් ඔහු මෙලෙස ආපසු ගෙදර ඒම පුරුද්දක් කර ගත්තේය. ෂෙල්ටන් බොරුවක් කරනවා විය යුතු යැයි බණ්ඩාරනායක මහතාටද නොසිතුනා නොවේ. "උඹ නම් මොනවා කරනවද කියල මට නම් තේරෙන්නේ නෑ" ඔහු ෂෙල්ටන්ට ඇසෙන්නට කීවේ හිතේ උපන් වේදනාවෙන් යුතුවය.

හතරවන කොටස

කෙසේ හෝ පරිගණක පාඨමාලාවද නිම විය. ඒත් ෂෙල්ටන් උගත් දෙයක් නොවීය. "මොකද්ද උඹට වෙලා තියෙන්නේ? කියපන් බලන්න මට? එක්කො උඹ කවුරු හරි ගෑණු ළමයෙවත් යාළු කරගෙන ඒ ගැනවත් හිත හිතා ඉන්නවාද?" ලොකු තාත්තා ඔහුගෙන් සෘජුවම විමසීය. ෂෙල්ටන් "නැත" යන්නට හිස සැලුවා පමණි. ඔහුගේ ස්වභාවය අනුව ඔහු එවැන්නකට යොමු වී නැති බව බණ්ඩාරනායක මහතාටද වටහා ගැනීමට අසීරු නොවීය. "උඹට එක්කො භූතයෙක් වැහිලා ඇති. මළගිය ප්‍රාණකාරයෙක්"

ලොකු තාත්තා එසේ කියද්දී ෂෙල්ටන්ට හදිස්සියේම සිහිපත් වූයේ තමන්ගේ මවය. ඇය ගිනි ජාලාවකින් වැසී ගෙන ඇවිදින ගින්නක් මෙන් තමන්ගෙන් සහ නංගිගෙන් මිදී දිව ගිය අයුරු ඔහුගේ යටි සිත තුළ අනේක වාරයක් හොලමන් කරමින් තිබිණ. මවගේ ආත්මය තමා පසු පසින් වැටී ඇති බවක් ඔහු නොසිතුවත් මව ඒ ගින්නෙන් කොපමණ දැවෙන්නට ඇත්දැයි සිතන මොහොතක් මොහොතක් පාසා ඔහුට දැනුණේ සියොළඟධ ගින්නේන් දැවෙන්නාක් මෙනි. මොන දේ අමතක කලත් මේ කම්පාව ඔහුට අමතක කළ හැකි වූයේ නැත.

"මේ බලපං ෂෙල්ටන් විවෘත විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු පාඨමලාවට ඇප්ලිකේෂන් කෝල් කරල. මේකට ඉල්ලපං. මේ වගේ කෝස් එකක් කළොත් උඹට වරදින්නේ නෑ. උඹ පවුලේ වැඩිමලා. උඹේ ඇස් දෙක පාද ගත්තොත් අනික් උන්ටත් හොඳ කලක් යයි. මාත් මේ වීරිය කරන්නේ ඒකට තමයි. හොඳ රස්සාවල් ඕනෙ තරම් තියෙනවා මේ කෝස් එක හරිට කලොත්." ෂෙල්ටන් ලොකු තාත්තා ඉදිරියේ යළිඳු නිරුත්තර විය. තමාගේ චිත්ත ශක්තිය පුබුදුවා විමුක්තිය සොයා ගැනීම තුළින් සෙස්සන්ටද විමුක්තිය සළසා දීමේ අරමුණක් තමා තුළ ඇති බව පැවසුවොත් ඔහු කෝප ගැන්වෙනු නියතය. ඒනිසාම මෙවරත් ෂෙල්ටන් ලොකු තාත්තාට කීකරු විය.

ගුරු වෘත්තියෙහි නියුක්ත එක් උපාධිධාරී භික්ෂූන්වහන්සේ නමක් නාලන්දාරාමයට ඉඳහිට දිනෙක වඩින්නට වූයේ මේ කාලයේදීය. නාලන්දාරාමයේදී තමාට මුණගැසුණු බොහෝ භික්ෂූන් වහන්සේලාට වඩා වෙනසක් සුවිශේෂත්වයක් මෙම භික්ෂූන් වහන්සේ තුලින් ෂෙල්ටන්ට දැකිය හැකි විය. එම හිමියන් පැවසූ බොහෝ දේ ෂෙල්ටන්ට දැනුනේ තමන් ඉදිරියේදී යාමට බලාපොරොත්තු වූ මාර්ගයට අනුකූල වූ සෙයකි.

"දැන් ලෝකයේ වෛද්‍ය විද්‍යාව කියන එක ඉතාමත් ඉහළ මට්ටමකට දියුණු වෙලා තියෙනවා. ඒත් ලෝකෙ මිනිස්සුන්ගේ රෝග වල අඩුවක් නෑ. දවසින් දවසම රෝග වැඩිවෙනවා විතරක් නෙමෙයි අළුත් අළුත් ලෙඩ රෝග බිහි වෙමින්ද පවතිනවා. මේ හින්දම ලෝකයේ දියුණු රට වල සිදු කෙරෙන වෛද්‍ය විද්‍යා පර්යේෂණවලටත් වඩා ඉහල මට්ටමේ පර්යේෂණ පැවැත්වෙනවා මේ සොභාදහමේ නියාමයන් විද්‍යාව මගින් පාලනය කරන්න පුළුවන්ද කියන එක ගැන සොයන්න" උන් වහන්සේ කීහ. "ඒක තමයි ස්වාමීන්වහන්ස මාත් මේ කල්පනා කරන්නේ. ඇත්තෙන්ම ලෝකයේ හැම දෙනෙක්ම හිතන්නේ භෞතික දියුණුව ගැන විතරයි. අද මිනිස්සු අධ්‍යාත්මික දියුණුවක් ගැන හිතන්නේ නෑ. ඒත් මිනිස් සිත දියුණු කර ගැනීම තුලින් මේ හැම දේකටම ප්‍රතිකර්ම හොයා ගන්න පුළුවන් කියන එක ගැන කවුරුවත් හොයන්නේ නෑ. මට හිතෙනවා හාමුදුරුවනේ හිත දියුණු කරගැනීමේ මර්ගය ගැන හොයන්න."

"ඔව්, ඒක බොහෝම හොඳ දෙයක්." එම භික්ෂූන් වහන්සේ ෂෙල්ටන්ට කීහ.

පස්වන කොටස

නාලන්දාරාමයට පැමිණි එක්තරා වෛද්‍යවරයෙකු විසින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමක්ද මේ අතර අරඹා තිබිණි. මෙය බටහිර හෝ දේශීය වශයෙන් වන සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමයක් නොවීය. එය එක්තරා දාර්ශනික ප්‍රතිකාර විශේෂයකි. මේ අපූරු ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව ෂෙල්ටන්ගේ මනස අවදිවන්නට පටන් ගත්තේය. නාලන්දාරාමය එවකට සිය නිත්‍ය නවතැන කරගෙන සිටි ෂෙල්ටන්, පන්සලේම එක් ගොඩනැගිල්ලක කොටසක නාඩි වෙදකමෙහි යෙදෙන දේශීය වෛද්‍යවරයා කෙරෙහි මහත් උනන්වක් දක්වන්නට පටන් ගත්තේය. ලොකු තාත්තාගේ සිත බිඳින්නට බැරි කමට විදුලි ඉංජිනේරු පාඨමාලාව හැදෑරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයට සම්බන්ධ වුවද ඔහුගේ සිත ඊට වඩා තදින් මෙවන් ගුප්ත ශාස්ත්‍ර හා බැඳුණි.

එබැවින් ෂෙල්ටන් ඒ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබන්නට එන පිරිස කෙරෙහි උනන්දුවක් දක්වන්නට පටන් ගත්තේය. දිනක් මෙසේ පැමිණි දෙතුන් දෙනෙකු හොරණ ප්‍රදේශයේ වෙසෙන එක්තරා සෝවාන් එලයට පත් හිමිනමක් පිළිබඳව කතා වෙනු ෂෙල්ටන්ට ඇසිණි. එම හිමියන් පිරිත් පිරිත් පැන් බලයෙන් රෝග සුව කරන කරන බවක්ද වැඩි දුරටත් ඔවුන් වෙතින් කියැවිණි. තම අභිලාෂයට බෙහෙවින් ගෝචර වන එම පුවත පිලිබඳව ෂෙල්ටන් මහත් සේ උනන්දු වන්නට විය. එහෙත් හොරණ ප්‍රදේශයේ එවැනි හිමිනමක් වැඩවෙසෙන බවක් මිස ඒ කොහෙදැයි යනුවෙන් නිශ්චිත තොරතුරක් දක්වන්නට ඒ කිසිවෙකුටත් හැකියාවක් නොතිබිණි. එහෙත් මෙය නම් ලෙහෙසියෙන් බැහැර කල හැක්කක් නොවේ. නමුදු, හරි හැටි තැනක් නොදැන සොයාගෙන යාමත් කළ නොහැකිය. ෂෙල්ටන් කුමක් කළ යුතුදැයි දින ගනනක් තිස්සේ කල්පනා කරන්නට විය. එහෙත් විශ්වයේ පවතින්න වූ පාරභෞතික පදාර්ථයන් සොයා යමේ මෙම අරමුණ ව්‍යර්ථ කර දැමිය නොහැක.

අවසානයේ ඔහු හොරණ ප්‍රදේශයට තනිවම නික්මුණි. කෙසේ හෝ ආරංචි මාර්ග ඔස්සේ ගියහොත් මේ පිළිබ්ඳව යමක් දැන ගන්නට බැරි නොවේයයි ෂෙල්ටන්ගේ සිත කීය. විශේෂයෙන් වර්තමානයේ සෝවාන් එලයට පත් හාමුදුරුවරුන් සිටීම පවා විශ්වාස කළ නොහැකි තරමේ අතිශය දුලබ සිදුවීමකි. එබැවින් එවැනි එක් හිමිනමක හෝ සිටිය හොත් ප්‍රදේශය පුරා පතල වීම ඉතා වේගයෙන් සිදුවිය හැක්කකි. විශේෂයෙන් උන්වහන්සේ පිරිත් පැන් බලයෙන් රෝග සුව කරන්නේ නම් මහත් ජනකායක් එතැනට ඇදී එනු නිසැකය. එහෙත් කිසියම් හෝඩුවාවක් මේ සම්බන්ධව දැන ගන්නට නොලැබුණෙන් ෂෙල්ටන් හොරණ ප්‍රදේශයේ එක් පන්සලකට ගොඩ වැදුනේ මේ සම්බන්ධව හරියාකාර තොරතුරක් පන්සලේ හාමුදුරුවන් වෙතින් හෝ දැනගන්නටය. එහි වැඩ සිටියේ වයසින් මෙන්ම තපසින්ද මනා පරිනත බවක් දැක්වූ මහතෙරනමකි.

"හාමුදුරුවනේ මේ හොරණ පැත්තේ පිරිත් පැන් බලයෙන් ලෙඩ සනීප කරන සෝවාන් එලයට පත්වුණු හාමුදුරුනමක් වැඩ ඉන්නවද?" පන්සලේ නායක හමුදුරුවන්ට වැඳ, අසල වූ නොඋස් බංකුවේ වඩි වූ ෂෙල්ටන් දිගු කතාවකට මුල පිරීය.

"පිරිත් පැන් බලයෙන් ලෙඩ සනීප කරන? කොහොමද එහෙම කරන්නේ?" හාමුදුරුවන්ගේ දෙබැම රැළි ගැන්වී තිබිණි.

"එහෙම තමයි දැනගන්න තියෙන්නේ"

එය ඇසූ ස්වාමීන් වහන්සේ කතා කලේ උපශාන්ත ස්වරයෙනි. "පිරිත් පැන්වලින් කොහොමද ලෙඩ සුව කරන්නේ? වෙන ආගම්වල නම් ඔය අසනීප සුව කරන ආශීර්වාද ජලය වගේ දේවල් තියෙනවා තමයි. විශේෂයෙන් ඔය ඉන්දියාවෙ ගංගා නම් ගඟේ වතුර 'තීර්ථම්' ඒ කියන්නේ ශුද්ධ ජලය හැටියට හඳුන්වනවා. ඔය ගංගා නම් ගඟට එක් නොවෙන දෙයක් නැහැ. අදටත් ඉඳහිට මිනී පවා ඔය ගඟේ පාවෙනවා. විශේෂයෙන් ඔය වසංගත රෝග පතිරෙන කාලයට ඒ ගඟේ ජලය පාවිච්චි කරන එක අන්තිම අනතුරුදායකයි. ඒත් ඒ රටේ මිනිස්සු ඒ වතුරත් ශුද්ධ ජලය හැටියට පාවිච්චි කරනවා." හාමුදුරුවන් බැරෑරුම් කතාවක් පවසන්නට යන වගක් ෂෙල්ටන්ට ගැඟිනි.

"ඔය වගේ නිසරු විශ්වාස වලට නියම බුදු දහමේ තැනක් නෑ මහත්තයෝ. අනික ඔය බොජ්ජංග සුත්‍රය අරන් බලන්න. ඒකෙ හරි අපූරුවට විස්තර කරල තියෙනවනේ මිනිස්සුන්ට ලෙඩ හැදෙන්න බලපාන හේතු. සෘතුවල වෙනස් වීම හින්දා මිනිස්සු ලෙඩ වෙනවා. ඒ වගේම තුන් දොස් කිපීමෙන් ලෙඩ වෙනවා. නොමනා පැවතුම් වලින්. ඔය වගේ ලෙඩ රෝග හැදෙන්න බලපාන හේතු ගැන ඒ සුත්‍ර දේශනාවේ පැහැදිලිවම විස්තර වෙනවා. කොටින්ම නියම බුදු දහමින් මේ ලෝකයේ යථා ස්වභාවයම තමයි මහත්තයෝ කියැවෙන්නේ. ඒත් ඒ කරණා තමන්ගේ ජීවිත වලට ආරෝපණය කරගෙන බුද්ධ දේශනාව අනුව ජීවත් වෙනවා මිසක් ඔය පිරිත් පැන් බීලා ලෙඩ සනීප කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක බුදුදහමට කරන ලොකුම නිග්‍රහයක්. ඔය කතා පසුකාලීනව අනිත් ආගම වලින් බුද්ධාගමට ඇතුළු වුණු ඒවනේ මහත්තයෝ."

ෂෙල්ටන් සාවධානව ඊට සවන් යොමු කරගෙන සිටියේය. මේ දහමට ඔහුගේ සිත බලවත් සේ ඇදී ගියත් ඔහු තුළ තවත් පැනයක් දැන් ඉතිරිව ඇත. එයද අසා දැනගන්නැයි ඔහුගේ සිත කියන්නට වුණි.

"ඒතකොට හාමුදුරුවනේ පිරිත් පැන්වල බලයක් ඇත්තේම නැද්ද?"

"මහත්තයෝ පිරිත් කියන්නේ මොනවද? බුදු බණමනේ. ඒ බුදු බණ ශ්‍රවණය කරල තමන් ඒ මාර්ගය ඔස්සේ යන බවට දෙන දෙන ප්‍රතිඥාවක් තමයි පිරිත් පැන් පානය කරන එක. එහෙම නැතුව රෝග නිවාරකයක් හැටියට පිරිත් පැන් බීම නම් තනිකරම අන්ධ විශ්වාසයක්."

"එතකොට හාමුදුරුවනේ කර්ම ශක්තිය හින්දාත් මිනිස්සු ලෙඩ වෙනවා කියලත් කියනවා නේද?"

"ඔව්, ඒකත් එක හේතුවක් විදියට බුදුහාමුදුරුවන් දේශනා කරලා තියෙනවා. නමුත් හැම රෝගයක්ම කර්ම රෝගයක් නෙමෙයි."

ෂෙල්ටන් කල්පනාවට වැටිණි. බුදුදහම යනු සැබෑම දර්ශනයකි. ඇදහිය යුතු ආගමකට වඩා පිළිපැදිය යුතු චර්යා ධර්ම පද්ධතියකි. එහෙත් සෝවාන් එලයට පත් පෙර කී හාමුදුරුවන් වැඩ වෙසෙන ස්ථානය සොයා යාම තුළින් තවත් මොන මොනවා හෝ දැන උගත යුතු යැයි ෂෙල්ටන්ට සිතිණ.

"හාමුදුරුවනේ ඔය කියන විදියට මේ කාලයේ සෝවාන් එලයට පත්වුණු හාමුදුරුවරු වැඩ වෙසෙන්න පුළුවන්ද?"

"බුදුහාමුදුරුවන් අපට දේශනා කරපු මාර්ගයේ නිසි විදියටම යනවා නම් කෙනෙකු සෝවාන් එලයට විතරක් නෙමෙයි මහත්තයො රහත් එලයට වුණත් පත්වෙන්න පුළුවන්. ඒකට මේ කාලයෙන් බාධාවක් තියෙන්න විදිහක් නැහැ. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අටුවා මතය බුද්ධ දේශනාවක් හැටියට පිළිගන්න බැහැ."

"ඒත් සෝවාන් වුණු හාමුදුරුනමක් හඳුනාගන්න ලැබෙනවා නම් හාමුදුරුවනේ..."

"ඇයි මොකටද? මහත්තයෝ."

"එතකොට අපිටත් ඒ මග හරියට වටහාගෙන ඒ මගේ යන්න පුළුවන් නේද?"

මේ තරුණයා බුදුමග කෙරෙහි මහත් උනන්දුවකින් පසුවන බව එම හාමුදුරුවන්ට වැටහිණි. ඒ සමගම ඔහුගේ නොදැනුවත්කම පිලිබඳ දයානුකම්පාවක්ද උන්වහන්සේ තුළ හට ගත්තේය.

"මහත්තයා... එහෙම කෙනෙක් දැන හඳුනාගෙන පලක් වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ අප යායුතු මාර්ගය අපට පෙන්වල දීලා තියෙනවා. ඒ මාර්ගයේ අපි තනිව යා යුතුයි. ලෝක ස්වභාවය ඒ කියන්නේ ත්‍රලක්ෂණය අවබෝධ කර ගැනීම තමන්ගේම විමසුම් නුවණින් කළ යුත්තක් මිස අනෙකෙකු අනුකරණය කිරීමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම නම් බුදුහාමුදුරුවො වැඩ වෙසෙන කාලෙ බණ අහපු හැම දෙනාම මේ වෙනකොට නිර්වාන මාර්ගයට පිවිසිලා ඉන්න ඕනනේ."

තම සිත කිසියම් අවබෝධයකින් පිරී ඉතිරී යන බවක් ඔහුට හැඟුනි. මේ හාමුදුරුවන් සමග කතාබහ කිරීම පවා සිතට සැනසිල්ල උදා කරවන්නකි. ඔහු හාමුදුරුවන්ට නමස් කාර කොට පන්සල් භූමියෙන් පිට විය.

නැවත නාලන්දාරාමයට ගියද ඔහුට කල්පනා වූයේ මේ හාමුදුරුවන් පැවසූ අදහස්මය. දැන් ඔහුට අන් සියළුම දේ කෙරෙහි කළ කිරීමක් හට ගෙන ඇත. මේ මග සොයා යා යුතුයැයි ඔහුගේ සිත කියන්නට විය. තමන්ට දැනගන්නට ලැබුණු සෝවාන් එලයට පත් හිමි නම මේ ස්වාමීන් වහන්සේම විය නොහැකිද?

ෂෙල්ටන් කාටවත් නොකියා යළිඳු අහම්බෙන් හමුවූ හාමුදුරුවන් බැහැදැකීම සඳහා එම විහාරයට ගියේය. සතියකට පමණ පසු යළි පැමිණි අසාමාන්‍ය තරුණයා ගේ රුව විහාරස්ථානයේ ගේට්ටුව අද්දරින් දිස්වත්ම ලොකු හාමුදුරුවන්ගේ මුවගෙහි සිහින් සිනාවක් සනිටුහන් විය. පෙර දිනයක තමන් වහන්සේ සොයා පැමිණි මෙම තරුණයා වත්මන් සමාජයේ තරුණයන් දහසක් වෙතින් වත් අසන්නට නොලැබෙන අන්දමේ අධ්‍යාත්මික අංශය පිළිබඳ ප්‍රශ්න සමුදායක් විමසා සිටි අන්දම ලොකු හාමුදුරුවන්ට හොඳින් මතකය. දිගු කලක් ගිහි පැවිදි සිසුන් විශාල පිරිසකගේ ගුරුවරයෙකුව සිටි තමන් වහන්සේ වෙතින් කිසියම් පැවිදි සිසු නමක් හෝ මෙවන් ප්‍රශ්න මාලාවක් විමසා සිටි බවක් ලොකු හාමුදුරුවන්ගේ මතකයේ නොවිණි.

"අවසරයි අපේ හාමුදුරුවනේ"

ස්වාමීන් වහන්සේ ඉදිරියට පැමිණි ෂෙල්ටන් තමන්ගේ සුරතෙහි වූ පොත් ගොන්න සිමෙන්ති පොළොව මතම තබා උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්ඳේය. අද සමාජයේ භිෂූන් වහන්සේ නමකට වුවද නිවැරදි ලෙස පසඟ පිහිටුවා වඳින්නෙක් වෙත්නම් ඒ කලාතුරකින් බව උන්වහන්සේ දනිති. එබැවින් මෙම තරුණයා කෙරෙහි හාමුදුරුවන්ගේ සිත තුල මහත් ප්‍රසාදයක් ජනිත විය.

"අපේ හමුදුරුවනේ, මම පහුගිය දවස්වල වෛදික යෝග ක්‍රම ගැන ඉගෙන ගන්න විදියක් ගැන හොයල බලුවා. ලංකාවේ එකට අයතන දෙකක් තියෙනවා." ෂෙල්ටන් තමන් ගෙන ආ කිසියම විස්තර පත්‍රකා කිහිපයක් ලොකු හාමුදුරුවන් අතට පත් කරමින් කීය.

"ඔව්.. ඔව්.. ඉස්සර ඉඳන්ම ඔය වගේ දේවල් අපේ රටෙනුත් මතු වෙනවා. අපෙ සමහර ගෝලයොත් ගිහින් ඕවා ඉගෙන ගත්තා. ඒත්, ඉතින් මහත්තයො ඕවා අපේ බුදුදහමට පිටස්තර දේවල්නේ. අදත් ඉන්දියාව පුරාම ඔයවගේ අර ක්‍රම මේ ක්‍රම අනුගමනය කරන අය ලක්ෂ ගනන් ඉන්නවා." ලොකු හාමුදුරුවන් ඒ පිලිබඳව කතා කරනුයේ එතරම් උනන්දුවකින් නොවන බව ෂෙල්ටන්ට පෙනෙයි..

"ඒත් අපේ හාමුදුරුවනේ ඕවාත් බුද්ධ කාලයේ ඉඳන්ම පැවතගෙන එන උතුම් ඒවා නේද?" ඔහු අසන ලද්දේ ලොකු හාමුදුරුවන් ගේ උනන්දුව පිබිදවීමට වෙර දරමිනි.

"බුද්ධ කාලයට බොහෝම කලින් ඉඳලනේ මහත්තයෝ ඕවා ඉන්දියාවේ ප්‍රචලිත උණේ. බුද්ධකාලය වෙන කොට ඕවා බොහොම ජනප්‍රිය මට්ටමකට ඇවිත් තිබුණා. ඒ නිසානෙ බුදු හාමුදුරුවෝ ඕවයේ නිසරු බව විශේෂයෙන් පෙන්නලා දුන්නේ. ඕවායින් අපිට විමුක්තිය ලබන්න බැහැ කියලා."

ලොකු හාමුදුරුවන් පවසත්ම ෂෙල්ටන් ගේ දෙනෙත කුතුහලයෙන් දීප්තිමත්ව බැබළෙන්නට විය.

"ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ඔය යෝග ක්‍රම ප්‍රතික්ෂේප කලාද?" හෙතෙම කුතුහලය මතින්ම ඇසීය.

"පැහැදිලිවම", ලොකු හාමුදුරුවන්ගේ පිලිතුර එය විය. එය ඇසූ ෂෙල්ටන්ගේ සිතට පිවිසියේ විස්මයකි.

"ඒ උනාට අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවොත් මේවා අනුමත කළා කියලා මෙන්න මේ පොතේ තියෙනවනේ."

ෂෙල්ටන් තම ෆයිල කවරය තුළින් ගත් වර්ණවත් පොත් පිංචක් ලොකු හාමුදුරුවන් ගේ සුරතේහි තබමින් කීය. එය හෙට්ටිපොල ප්‍රදේශයේ ගුණරත්න නැමැති මහතෙකු විසින් ලියන ලද යෝග ක්‍රම පිළිබ්ඳ අධ්‍යාපනික ආයතනයක නිර්මාතෘවරයෙකු ලෙසද එම පොතෙහිම දැක්වී තිබිණ.

ඔය පොතේ පැහැදිලිවම තියෙනවනේ අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවොත් පුරාතන වෛදික යෝග ක්‍රමය ගැන අනුශාසනා කරලා තියෙනවා කියලා. අර ධම්මපදයේ තියෙන යොගාවෙ ජායති භූරි-අයෝගා භූරී සංඛයෝ කියන ගථාවෙන් කියවෙන්නේ යෝග වැඩීමෙන් නුවණ වැඩෙනවා. එහෙම නොකිරීමෙන් නුවණ නැතිවෙනවා කියලලුනේ. එහෙමයි ඔය පොතේ තියෙන්නේ ෂෙල්ටන් පවසත්ම ලොකු හාමුදුරුවනේ නළලත වූ රැළි වඩාත් හොඳින් ඉලිපී පෙනිණ. උන්වහන්සේ කනප්පුව මත වූ උපැස් යුවල අතට ගෙන එය පැළඳ ගත්හ.

"කොහෙන්ද මහත්තයට මේ පොත?" උන්වහන්සේ එහි මුල මැද අග පිරික්සමින් ඇසීය.

"මට යෝග කරන කෙනෙක් දුන්න අපේ හාමුදුරුවනේ" ෂෙල්ටන් කීය.

"මේ පොතෙන් කියවෙන්නේ මහා නස්පැත්ති දායක දෙයක්නෙ මහත්තයෝ. කැමති කෙනෙක් යෝග බැරිනම් ඔනි දෙයක් කරගත්තාවේ. ඒකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. ඒත් පෞද්ගලික අභිමථාර්ත ඉෂඨකර ගන්න මේ විදියට බුදුබණත් කණපිට හරවන එකනම් සහගහන අපරාධයක්" උනවහන්සේ නොසතුටු මුහුණින් යුතුව කීය. එම පොතෙහි සඳහන් අන්දමට එහි කතුවරයා මෙරට ප්‍රමුඛතම බෞද්ධ සංවිධානයක යාවජීව සාමජිකයෙක්ද වෙයි. එය ෂෙල්ටන්ගේ විස්මය තවත් ඉහල නැංවීමට සම්ත් විණි. මෙහි සත්‍ය ඇත්තේ මේ හමුදුරුවන් වෙතද? නැතහොත් අර යෝගී ගුරුවරයා වෙතද?

“මහත්තයෝ ඔතන බුදු හාමුදුරුවෝ 'යෝග' කියන වචනයෙන් අදහස් කළේ යෝනිසෝමනස්කාරයෙන් ඒ කියන්නේ එළඹගත් මනැසින් කටයුතු කිරීමෙන් නුවණ වැඩෙනවා කියන එකයි. එහෙම නැතුව මිථ්‍යාදෘෂිටික වත් පිළිවෙත් වල යෙදීම නොවෙයි. කොටිනම විදර්ශනා භාවනාවෙන් ලොව්තුරා නුවණ වැඩෙනවා කියන එකයි. මට මතකයි ඔය කතාව. ඕක අර පොට්ඨිල හාමුදුරුවන් සම්බන්ධයෙන් නේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මහත්තයෝ ඒ කතාව තමන්ට ඔනි ඔනි විදියත් වක ගහගන්න බුදුහාමුදුරුවොත් වෛදික යෝග ක්‍රම වඩන්න කිව්ව. යාග හෝම පවත්තන්න කිව්වා කියලා ලියන මිනිස්සු හෙට අනිද්දා තව මොන මොන දේවල් ලියලා අපේ නූගත් බෞද්ධයො මොන අතකට යවාවිද දන්නේ නෑ. අනේ මෙහෙමත් දසාවක්.” ලොකු හාමුදුරුවන්ගේ ස්වරය සංවේගයෙන් බරවී ඇතිවගක් ෂෙල්ටන්ට හැඟුණි.

"එතකොට හාමුදුරුවනේ මොකද්ද මේ නිවන කියන්නේ? කොහොමද ඒ ගැන ප්‍රයෝගිකව දැනීමක් කරගන්නේ?" අනතුරුව ෂෙල්ටන් නගන ලද්දේ වෙනත් පැනයකි.

"මහත්තයා තුළත් මා තුලත් මමත්වය තියෙනවා. අපි කවුරුවුනත් සාංසාරිකවශයෙන් පවතින්නේ ඔය මමත්වය කියන දේ තියෙන තුරු විතරයි. අපිට පුළුවන් නම් අපි තුල තියෙන මේ මමත්වය නතිකරන්න ඊට පස්සේ ඒ තැනැත්තාට සාංසාරික පැවැත්මක් නැහැ. හොඳයි අපි මෙහෙම හිතමු. අපිට බුද්ධ ශාසනයක් තියෙනවා. මේ පන්සල හැදුනෙ ඒ නිසා. හොඳයි මේ ලෝකෙ බුදු දහම කියල දෙයක් නොතිබුනා නම් මෙතන මේ වගේ බෞද්ධ විහාරයක් ඉඳිවෙනවද?" ලොකු හාමුදුරුවෝ සිනා මුසු මුහුනින් යුතුව ඇසූහ.

"එහෙම නම් අපේ හාමුදුරුවනේ අපි මෙච්චර උතුම් විදියට සළකන බුද්ධ ධර්මය අවශ්‍ය වෙන්නේ ඒ මමත්වය නැතිකර ගන්න තුරු විතරනේ?" ෂෙල්ටන් ලොකු හාමුදුරුවන්ගෙන් අසන ලද්දේ විමතියෙනි.

"ඇත්තෙන්ම මහත්තයෝ බුදු හාමුදුරුවෝ තමන් වහන්සේගේ ධර්මය උපමා කරල තියෙන්නෙ පහුරකට තමයි. අරගෙන කියවල බලන්න කුල්ලූපම සුත්‍රය. ඒ සුත්‍ර දේශනාවෙ තියෙනවා මාගේ මේ ධර්මය වුනත් සංසාරෙන් එතෙරෙ වෙන්න පුළුවන් පහුරක් විතරයි කියල. බලන්න බුදු හාමුදුරුවෝ කොයිතරම් හොඳට ජනතාවට කරුණු ඉදිරිපත් කරල තියෙනවද කියල." ලොකු හාමුදුරුවෝ සන්සුන් ස්වරයෙන් පැවසූහ.

"එහෙම නම් අපේ හාමුදුරුවනේ අපිමනේ මෙ බුද්ධාගම කණපිට ගහගෙන දඟලන්නේ" ෂෙල්ටන් විස්මයෙන් යුතුව ඇසීය.

එහෙනෙහිම නැගී ගත් ලොකු හාමුදුරුවන්ගේ සිනහඩ උස් බිත්ති වලින් යුතු ආවාස ගෙය පුරා පැතිර ගිය අතර "බොහොම හරි මහත්තයෝ, බොහොම හරි" යනුවෙන් උනවහන්සේ පවසනු ෂෙල්ටන් බලා සිටියේය.

හයවන කොටස

මේ අතර නාලන්දාරාමයේ ප්‍රතිකාර කරනු ලබන ඒ වෛද්‍යවරුන්ට වඩා බෙහෙවින් සුවිශේෂ බවක් ෂෙල්ටනට ඔහු හඳුනාගත් මුල් දිනවලදීම පැහැදිලි විය. මොහු නාඩි අල්ලා බැලීමෙන් රෝගියාගේ රෝගය හඳුනාගත් මුත් එය ඉන්දියාවේ උපත ලද නාඩි වෛද්‍ය ශාස්ත්‍රයක් ද නොවීය. මේ ගැන තවත් සොයා බලන්නට ෂෙල්ටන් තුළ කැමැත්තක් ඇතිවිණ.

ඒ අනුව සරත් පී. අඹතලාව නැමැති මෙම තලතුනා වෛද්‍යවරයා සමග කතා බහ කරන්නට ෂෙල්ටන්ට වුවමනා විය. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වූ හෙතෙම දැන් ස්ථාන කිහිපයක පූරණ කාලිනව මෙම වෛද්‍ය ක්‍රමයෙහි නියැලෙන්නෙකි. සමනල ගිරි වෛද්‍යක්‍රමය යනුවෙන් ඔහු විසින්ම් නම් කර ඇති මෙබඳු ගුප්ත වෙදකමක් පිළිබඳ මින් පෙර ෂෙල්ටන් අසා තිබුණේ නැත.

"මොකද්ද මහත්තයා මේ වෙදකම?" දිනක් ෂෙල්ටන් වෛද්‍යවරයා ගෙන් ඇසීය.

"මේක ළමයා සමනල අඩවියෙන් බිහිවුණු පුරාණ වෛද්‍ය ශ්‍රාස්ත්‍රයක්නේ. එක හින්දයි මම ඔය නම යොදා ගත්තේ." පැහැපත් උපශාන්ත පෙනුමකින් යුතු එම වෛද්‍යවරයා ෂෙල්ටන් වෙත ප්‍රසන්න සින්හවක් පාමින් පැවසීය.

ඉන්පසුවත් මේ ගැන දිගින් දිගටම කල්පනා කළ ෂෙල්ටන් මේ ගැන වැඩි තොරතුරු එම වෛද්‍යවරයා වෙතින් අසා දැන ගන්නටත්, ඒ ඔස්සේ හැකි වුවහොත් මෙය ඉගෙන ගන්නටත් සිත් විය. ඔහු වෛද්‍යවරයා විවේකයෙන් සිටින මොහොතක් බලා යළිත් එම කාමරය වෙත ගියේය. ප්‍රසන්න කාරුණික පෙනුමකින් යුතු පෙනුමෙන් යුතු වෛද්‍යවරයා ෂෙල්ටන් වෙත සුහද සිනාවක් පෑවේය.
"මොකද අද මේ පැත්තේ?" අනතුරුව හේ කාරුණිකව විමසීය.

"මට හරි ආසවක් අතිවුනා වෙද මහත්තයා මේ සමනගිරි වෙදකම අති වුනේ කොහොමද කියන එක ගැන තොරතුරු ටිකක් දැන ගන්න."

තමා ඉදිරිපස වූ පුටුවෙහි වාඩී වූ මෙම තරුණයා දෙස වෙද මහතා පළමුව හොඳින් බැලුවේය.

ඔහු වෙතින් දිස් වන්නේ කිසියම් අහිංසක පෙනුමකි. එසේම බලපොරොත්තු සහගත බවක් මුහුණෙන් පළවේ. ශිෂ්‍යන් දහස් ගණනකට උගන්වා පළපුරුදු, පසල් කිහිපයක් විදුහල්පතිවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබූ වෛද්‍යවරයාට ෂෙල්ටන්ගේ මේ ස්වභාවය තමාගේ කීකරු ගෝලයෙකු සිහියට නැංවෙන්නට ඇත.

"ෂෙල්ටන් බොහොම උනන්දුයි වගේ මේ වෙදකම ගැන? ඒක බොහොම හොඳ දෙයක්. අපේ පරණි ශස්ත්‍ර රැක ගන්න ඔනෙ. ඔය වගේ අළුත් පරපුරේ අය තමයි." වෛද්‍යවරයා සොම්නස් සහගතව පැවසීය.

ඔහු ඒසෙ පවසා සිය අසුනෙහි තවත් සුව පහසු අන්දමින් හරි බරි ගසුනේ දිගු කතාවකට මුල පුරන්නටය. ෂෙල්ටන් වෛද්‍යවරයා වෙතින් සිය බැල්ම ඉවත් නොකරගෙනම එක දිගටම බලා සිටියේය.

"දඹදෙනියේ රජකම් කරපු දෙවෙනි පරාක්‍රමභාහු රජ්ජුරුවො ගැන ඔය ළමයා අහල ඇතිනේ?" ෂෙල්ටන් වෙද මහතා අසත්ම හිස වැනීය.

“මට මතක හැටියට ක්‍රිස්තු වර්ෂ එකදාස් තිස් පහේදී විතර තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො රජකමට පත් වුණේ. ඔය රජ්ජුරුවො අපේ මේ බුද්ධ ශාසනයට විශාල සේවයක් කරපු කෙනෙක්. කොටින්ම මේ රටේ හිටපු දුසිල්වත් චීවරධාරීන්ව නෙරපලා ශාසන ශුධියක් ඇති කළා ඔය රජ්ජුරුවො. සියම් රටේ තාම් ර දේශයෙන්, දැන් ඔය තායිලන්තයේ ලිහෝර් කියන්නෙත් ඒ ප්‍රදේශයටමනේ. එහෙන් ධර්මකීර්ති කියලා භික්ෂූන් වහන්සේ නමක් ගෙන්වලා ඔය ශ්‍රීපලාබද්දල වනවාසී පිරිවෙණකුත් ඇතිකලා. ඔය හාමුදුරුවෝ විදර්ශනාලාභී හාමුදුරු නමක්. සෘද්ධි ප්‍රාතිහාර එහෙමත් පන්න පුලුවන්ලු.”

වෛද්‍යවරයා තම ගෝලයෙකුට පාඩමක් කිය දෙන පරිද්දෙන් ෂෙල්ටන් වෙත පවසන්නට විය. ෂෙල්ටන් මහත් උනන්දුවෙන් ඊට සවන් යොමාගෙන සිටියේය. වෛද්‍යවරයාගේ ප්‍රසන්න මුහුණ වරෙක සිනහවෙන් පිබිදෙයි. තවත් වරෙක දෙනෙත් විසල් වී නළල රැලි ගැසෙයි. ඔහු පවසන පුවත ඒ තරමටම එය පවසන විලාශයත් ෂෙල්ටන් තුළ වූ උනනදුව දෙගුණ තෙගුණ කරවන්නට සමත් චිය.

"ඔය ධර්මකීර්ති හාමුදුරුවො පලාබද්දල වනවාසය පිහිටුවලා ධ්‍යාන බල සහිත ගෝල සඟ පරපුරක් බිහි කළා. ඒ කාලෙනේ ළමයො ඔය නිකාය සංග්‍රහය, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වගේ වටිනා පොත් බිහිවුණේ. ඔය ධ්‍යාන බල සහිත ගෝල හමුදුරුවරු තමන්ට හැදෙන ලෙඩ රෝග හදුනා ගත්තෙත් චිත්ත බලයෙන්. ඒ විතරක් නෙමෙයි ඒවට ඖෂධ හඳුනාගත්තෙත් චිත්ත බලයෙන්.."

වෙද මහත්තයා මෙසේ පවසද්දී ෂෙල්ටන් ගේ දෑස් විසල් විය. ඔහු ඇසිපිය නොසලා වෙද මහතා දෙස බලා සිටියේ වශිකෘත වූවක් මෙනි.

"ඒ කියන්නෙ තමන්ගෙ චිත්ත ශ්ක්තිය එච්චරට දියුණු කරගෙනද?" ෂෙල්ටන් ඇසුවේ සිහිනෙන් අවදි වූවකු මෙනි.

"නැතුව? ධ්‍යාන බල ලබල එතනින් අභිඥා ලබලා ඊලඟට දිව්‍යඥානය ලබපු භික්ෂූන් වහන්සේලා ඒකාලෙ හිටියා. කොහොමටත් ළමයෝ භාවනා කරන්න සුදුසුම තැන් උස් බිමක්. ඒ කාලෙ ඔය සිරිපා අඩවියේ භාවනායෝගියො මොන තරම් වැඩ වසල තියෙනවද? සිරිපා අඩවියේ බොහෝම හාස්කම් තිබුණු තැනක්. බුදුන් වැඩිය රටනේ. අදට වුණත් ඔය වනගත වෙලා භාවනා කරන යෝගීවරු ඔය අඩවියේ නැත්තෙ නෑ. තමන්ගේ සිත එකතැන් කරගෙන භාවනා වඩන්න ඒ වගේ ප්‍රදේශයක් තවත් මේ රටේ නෑ."

ෂෙල්ටන්ගේ සිත වෙද මහත්තයගේ කතාව ඔස්සේ විසල් දුරකට ගමන් කොට තිබිණි. මේ තරුණයාගේ මුහුණ දීපතිමත් බවකින් පිරීයනු වෙද මහතාට දැනේ. ඉන් දිරිලත් ඔහු සිය කතාවේ ඉතිරි ටික කියන්න පටන් ගත්තේය.

"ඒ කාලෙ ඔය ධ්‍යාන බල ලබපු සංඝයා වහන්සේල චිත්ත ශක්තියේ බලයෙන් රෝග වලට හොයා ගත්තු බෙහෙත් පිළිබඳව පුස්කොළ පොත්වල ලියවුණා. ඒත් ඔය වෛද්‍ය ක්‍රමය ඊට පස්සේ සීතාවක රජසිංහ යුගයෙදි නතිවෙලා ගියා. දන්නවනේ සීතාවක රාජසිංහ රජ්ජුරුවො මොකද කළේ කියල?" තමා තුළ වූ උනන්දුව මතින්ම ෂෙල්ටන් හිස සැලීය.

"හැබැයි ඉතින් ඒ වුණත් මිනිස්සු අතරේ මේක නැත්තටම නැති වුනේ නෑ. අත්බේත් වගේ හරි ඔය සිරිපාද අඩවිය අවට ගම්වල මිනිස්සු අතරේ මේක ටික ටික තිබුණා. අදත් ඒ පැත්තේ ගෙවල් වල ඒ පුරාණ පුස්කොළපොත් තියෙනවා. ඔන්න ඔහොම ඉන්න කොට මට හැදුණා මගේ මේ කකුල්වල අමාරුවක්. සිංහල බෙහෙත් කළා ඉංග්‍රීසි බෙහෙත් කළා මොකකින්වත් නෑ කිසිම ගුණයක්."
"ඔය කාලෙ වෙනකොට වෙද මහත්තයා මේ සමනලගිරි වෙදකම කළේ නෑ?"

"මොන? මං එතකොට ඉස්කෝලෙ උඅගන්නනවා. මගේ මේ කකුල් අමාරුව හොඳ වෙන්නෙ නැතුව මං ඒ ගැන් කල්පනා කර කර ඉඳිද්දි මට හදිස්සියේම වගේ පුස්කොළ පොත් කීපයක් හම්බ වුණා. බලනකොට ඒකෙ තියෙනවා මේ වෛද්‍ය ක්‍රමය ගැන. මේ ගැන දිගින් දිගටම කරුණු හොයලා බලද්දි මට මගේ රෝගෙ මොකද්ද කියන එක ගැන හොඳටම වැටහුනා. ඒවයේ තිබුණු ප්‍රතිකාරත් මං ඒ විදියටම කළා. මගේ ලෙඩේ සනීප වුණා. ඊට පස්සේ තමයි පුළුවන්තරම් පුස්කොළපොත් හොයලා කරුණු හදාරලා මං මේ වෙදකම ප්‍රගුණ කලේ."

වෙද මහත්තයා සිය කතාවට මද විරාමයක් තබා යළි ෂෙල්ටන් දෙස බැලීය. ඔහුගේ මුහුණ බලාපොරොත්තුවෙන් පිරී ඇති බවක් පෙනේ. වෙද මහතාගේ මුහුණට ප්‍රසන්න සිනාවක් නැගිණි. මේ වගේ වටිනා කියන දේවල් මේ තරුණ ළමයි ඉදිරියට ගෙනිච්චොත් මොන තරම් සේවයක් වෙයිද? ඔහු තනිවම සිතීය.

එහෙත් ෂෙල්ටන් සිතුවේ අනෙකකි. මෙම අපූරු වෛද්‍ය ක්‍රමය ප්‍රගුණ කිරීම කෙසේ වුව සිරිපා හිමයට ගොස් සිය චිත්ත ශක්තිය දියුණු කර ගත හැකිනම් එයින් තවත් වටිනා සේවයක් තමාට ඉටුකළ හැකි නොවෙද?

හත්වන කොටස

මනලගිරි වෛද්‍ය ක්‍රමය පිළිබඳව වෛද්‍යවරයා මහත් උනන්දුවකින් තවත් බොහෝ දේ පවසනු ෂෙල්ටන් අසා සිටියේය. එහෙත්, ඔහු කී නාඩි වෙදකමෙන් එපිට බොහේ දුරක් ෂෙල්ට්න්ගේ සිත ගමන් කර තිබිණි.පරිගණක විද්‍යාව, සිවිල් ඉන්ජිනේරු ශිල්පය මොන විහිළුවක්දැයි ෂෙල්ටන්ට සිතේ. තමා මෙතෙක් සෙවූ දේ සොයා ගැනීම උදෙසා මාවතක් පෑදී එමින් තිබේ. මේ මාවත සමනල අඩවිය ඔස්සේ වැටී ඇත. ෂෙල්ටන්ගේ සිත සතුටින් පිරී ගියේය.

වෛද්‍යවරයාගෙන් නාඩි වෛද්‍ය ක්‍රමය ඉගෙණ ගන්න අතරේම සමනල අඩවිය පිළිබඳ තොරතුරු සොයන්නට ෂෙල්ටන් දැඩිව අදිටන් කර ගත්තේය. ඔහු අසා ඇති තොරතුරු වලට අනුව අක්කර පනස් දහසකටත් වැඩි වනගහනයක් වූ මෙය අදත් අතිශයින් ගුප්ත ජනක වන පාරාදීසයකි. මේ දක්වා කිසිදු මිනිස් පා සටහනක් නොලත් තැන්ද මෙම අක්කර පනස් දහස ඉක්ම වූ වන ගහනය තුළ අදටත් පවතී.

ඇත්තෙන්ම මේ සිරිපා හිමය තුළ අදටත් එබ්ඳු යෝගීවරුන් නිහඬව සහ අප්‍රකටව වැඩ වෙසෙතැයි ෂෙල්ටන් ඒ පිළිබඳව කරුණු සෙවීමේදී දැනගන්නට ලැබිණි. ඉතාමත් අප්‍රකට ලෙසින් වැඩ වසන ධ්‍යාන ලාභී රහතන් වහන්සේලා පවා මෙම හිමයේ විසල් වන ගහනය තුළ වැඩ වෙසෙතැයි තවත් කවුදෝ ෂෙල්ටන් හා කියා තිබිණි. එහෙත් ඒ පිළිබඳව වැඩි තොරතුරක් ඔහුට දැනගත හැකි වූයේ නැත.

එහෙත් එම පසුබිම් කරුණු මති ඔහු පස්වන්ක් ප්‍රීතියෙන් ඔද වැඩෙන්නට විය. "මට ඕන දේ මං සොයා ගත්තා. දැන් තියෙන්නේ ඒ මග ඔස්සේ ඉදිරියට යාමයි." යනුවෙන් ඔහු එම ප්‍රීතියෙන් උද්දාමව තමාටම කියා ගත්තේය.
ලොකු තාත්තාට නොදැනෙන පරිදි ෂෙල්ටන් මේ ශ්‍රීපාද අඩවිය තුළ භාවනානුයෝගීව වැඩ විසූ කවුරුන් හෝ සිටිත්දැයි විපරම් කරන්නට පටන් ගත්තේය. එමගින් තම අරමුණ ඉටු කර ගැනීමට මුලක් පාදා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. බොහේ දුර කරුණු හොයා බැලීමේදී ශ්‍රීපාද අදවියේ සමනොල කඳු සිරසෙහි මහාවනය මැද වසර 12ක් තිස්සේ භවනානුයෝගීව වැඩ විසූ ධ්‍යාන ලාභී තවුසෙකු පිලිබඳව ඔහුට දැනගන්නට ලැබිණි. මේ වන විත වයෝවෘද්ධ තත්වයේ පසුවූ එම තවුසා එවකට හොරණ ප්‍රදේශයේහි තමන් විසින්ම තනවා ගත් ආරාමයක සිය ජීවිතයේ සැඳෑ සුවය ගත කරමින් හිඳින බවත් ඔහු නමින් නාරද තුම වශයෙන් හැඳින් වෙන බවත් ෂෙල්ටන්ට දැනගත හැකිවිය. ඒ අනුව වඩාත් උනන්දු වූ ෂෙල්ටන් මෙම නාරද තුමා වෙසෙන ආරාමය කොහෙදැයි සොයා බැලීය.

හොරණ රත්නපුර පාරේ සවිගස් හන්දියෙන් වමට හැරී කි.මී. 1 පමණ යන විට මාරගහහේන හමුවේ. එම පාරේ සිට දකුණු අත පැත්තට වැටුණු ගුරු පාරක් දිගේ තවත් සෑහෙන දුරක් ගමන් කළ පසු ඉතාම නිස්කලංක බවින් පිරිපුන් වාට පිටවකින් යුතු රබර් හේඩාවකට මැදි වුණු ජයබිම අරම නැමැති ආරාමය දැකගත හැකිය. නාගස්වලි පිරීගිය අතිශය සෞම්‍ය දේශගුණයකින් යුතු ගතටත් සිතටත් මහත් අස්වසුම් දනවන පරිදි කරවන ලද එම ආරාමය තවුස් දම් පුරන්නෙකුටම ඔබින වූවකි.

එක්තරා සන්ධ්‍යා භාගයක මෙම ජය බිම අරම හිමි නාරද තුමා සිය ආරමයෙහි විවේකීව පසු විය. සුදු ඇඳුමකින් සැරසීගත් සියුමැලි පෙනුමකින් යුතු එකතරා තරුණයෙකු බෑගයක්ද අතින් ගෙන මෙම අරමට පිවිසෙනු එතුමා බලා සිටියේය. මේ රමට එක් එක් ආකාරයේ පුද්ගලයන් පිවිසීම සාමන්‍ය දෙයකි. දිනපතාම මෙහි පැමිණ තෙරුවන් වඳින උවසු උවැසියන්ගෙන්ද අඬුවක් නැත, එහෙත් මේ තරුණයාගෙන් දිස් වන්නේ එවන් ස්වරූපයක් නොවේ. ඔහු මේ පැමිණි ගමනද සාමාන්‍යයෙන් සෙස්සන් කරනු ලබන තෙරුවන් වැඳීමේ කාර්ය්‍ය නොවන බවද නාරද තුමට වටහා ගැනීමත අසීරු වූයේ නැත.

වයෝවෘද්ධ, තද දුඹුරු පැහැයට හුරු චීවරයක් නොවන කසාවතකින් සැරසී සිටි උපැස් යුවළක්ද පැළඳි මෙම පුද්ගලයා තමා සොයා ආ තැනැත්තාම බව ෂෙල්ටන්ගේ සිතට එක්වරම හැඟිණ. ඔහුට දැන ගන්නට ලබුනු පරිදි සිරිපා හිමයේ දොලොස් වසරක් තිස්සේ භාවනායෝගීව හිඳ ධ්‍යාන ලබාගත් මේ පුද්ගලයා රහත් එලයද ලබූ අයෙකි. ෂෙල්ටන්ගේ සිතට නාරදතුමා මෙන්ම එම නිහඬ නිසල ගුප්ත බවක් දනවූ වටාපිටාවද සුටුමතින් මහත්වූ අස්වසිල්ලක් දනෙන්ට විය. තම හමන් බෑගය බිම තැබූ ඔහු මෙම තවුසාට පසඟ පිහිටුවා වැන්දේය.


අනගාරික නාරද තුමා

"ඔබ තුමාව හමුවෙන්නයි ආවෙ..." ෂෙල්ටන් සිය කාරණයට පිවිසීම සඳහා මූලික පියවර තබමින් කෙටියෙන් පැවසීය.

"කොහෙ ඉඳලද මේ දරුවා එන්නේ?"

"කොළඹ ඉඳලා."

"ඔව්... ඔව්... කියමු බලන්න ආපු කාරණේ."

ෂෙල්ටන් වෙත අසල වූ පැදුරක් දිගු කරන අතරේම තමාද එම ධර්ම ශලාවෙහි වූ කෙටි අසුනක වාඩි වෙමින් නාරද තුමා කරුනාබර හඬින් තෙපලේය.

"ඔබතුමා සිරිපා හිමේ අවුරුදු දොලහක් තනියම භාවනායෝගීව ජීවත් වුණා කියල මට දැනගන්න ලැබුණා?."
නාරද තුමා යන්තමට හිස සැලීය.

"ඇහුවට අහිතක් හිතන්න එපා. ඔබතුමා ධ්‍යාන ලබාගත් කෙනෙක් කියලත් සමහරු කියනවා"
නාරද තුමාගේ මුවඟට සිහින් සිනාවක් නැගුනි.

"නෑ පුතා නෑ..." අනතුරුව පැවසූ නාරද තුමා "මං ධ්‍යාන ලබාගත්ත කියනවට වඩා සිත එකතරා මට්ටමකට දියුණු කර ගත්තා කිව්වොත් තමයි වැඩියක්ම නිවැරදි." යැයි පැවසීය.

ව්යෝවෘද්ධ වුවද ඔහුගේ සිනාව සහ බල්ම ප්‍රසන්නය. හඬ පැහැදිලිය. ගමනින් පවා පළවූයේ ශාන්ත බවකි. ෂෙල්ටන් තව මොහොතක් මේ ප්‍රසන්නශීලී කරුණාබර මිනිසා දෙස එක එල්ලේ බල සිටියේය.

නාරද තුමා යළි මෙම තරුණයා දෙස කාරුණික සෘජු බල්මක් හෙලීය.

"ඇයි පුතා? මම නම් ශ්‍රීපාද අඩවියට ගිහින් අවුරුදු දෙලහක් භාවනානුයෝගීව සිටියා තමයි. මොකද්ද දැන් ඔය දරුවගේ බලාපොරොත්තුව?."

"සිරිපා හිමයට ගිහින් භාවනා කරලා මගේ චිත්ත ශක්තිය දියුණුකර ගන්න."

යමක් වටහා ගත් අයුරින් නාරද තුමා හිස සැලීය. ඔහු සිය අසුනින් නැගී සිටියේය.

"දරුවා අපි ටිකක් විවේකීව කතා කරමු. ඔය ඇඳුම් මාරු කරලා මූණ කට හෝදගෙන මහන්සි ඇරල හිටිය නම්... මං පුතාට බොන්න මොනව හරි පිළියෙල කරගෙන එන්නම්"

එසේ පැවසු නාරදතුමා සිය කසාවත යළිඳු සකසා හඳිමින් ධර්ම ශාලාවෙන් පිට විය.

ෂෙල්ටන් ද හුන් තැනින් නැගී සිටියේය. නා අරණේ විවිධ උවසු උවැසියන් මහත් බැති සිතින් බුදුන් වඳිනු පෙනේ. නාගස් මැද්දෙහි කුඩා ගල්තලාවක් මත මල් ආසනය සැකසී තිබිණි. සිහිල් සුළඟක් ෂෙල්ටන්ගේ ගත වටා එතෙන්නට විය. ඔහුගේ සිත මහත් උද්දමයකින් පිරීයනු දනිණි. තමා කිසියම් ක්ෂේමභූමියකට පැමිණ ඇති බවක් ඔහුට හැඟී යන්නට විය. ඒසෙම මෙය කිසියම් තීර්ථ චාරිකාවක ආරම්භය යැයි ඔහුගේ සිත කීය.

අටවන කොටස

නාඅරණ ඔස්සේ හමා ආ අළුයම සිහිල් සුළඟ සිරුරට එක් කළේ මහත් වූ සුවදායකත්වයකි. ඒ සිසිල් සුළඟට මුසුව ධර්ම් ශාලාව තුළට ගලා ආ නාමල්වල ගුප්ත මිහිරි සුගන්ධය හොඳහැටි ඉහළට ගත් හුස්මක්ද සමගින් ෂෙල්ටන් සිය සිරුරට උරා ගත්තේය. මහත් වූ අස්වැසිල්ලකට අමීප වූ හැඟුම් සමුදායකින් ඔහුගේ සිත පිරී ගියේය.

පසුදින අළුයමට පහන් වෙමින් තිබිණි. උදෑසනින්ම ක්වුදෝ බිම අමදින හඬක් ෂෙල්ටන්ට ඇසුණි. වහා මෙතෙක් වැතිර හුන් පන් පැදුරෙන් පිබිදුණු ෂෙල්ටන් ඔබ්බෙන් වූ නා අරණ දෙස විමසිලිමත්ව බැලීය. පාන්දරින්ම අවදිව හුන් නාරද තවුසා නා අරණ අමදිමින් සිටියේය. පැදුර සීරුවට හකුලා කෙටි බිත්තියට හේත්තු කළ ෂෙල්ටන් හිමින් හිමින් නා අරණ දෙසට පිය මනින විට නාරද තුමා සිය කටයුත්ත නිමවමින් සිටියේය. උදය ආහාරයෙන් පසු දෙදෙන යළි පිළිසඳරට වැටුනහ. ෂෙල්ටන් තුළ වූයේ දැඩි අපෙක්ෂා සහගත බවකි. මේ තවුසා තමන්ගේ විමුක්ති මාර්ගය දක්වා වැටී ඇති පාර නිසි පරිදි දක්වන්නෙකැයි ෂෙල්ටන්ගේ හිත කීය.

"ඔබතුමා ඔය හිමේ ඉන්න කාලයේ
ධයානලාභීන් එහෙමත් වැඩ හිටියද එහේ?" ෂෙල්ටන් ඇසුවේ කුතුහලයෙන් යුතුවය.

"මම ඒ ගැන නම් කියන්න දන්නේ නෑ. වලහා කාපු හමුදුරුවො කියලා හාමුදුරු නම්ක් නම් ඒ කාලේ ඔය හිමේට වෙලා භාවනා කරපු බව දන්නවා. ඒ ඇර තවත් අය හිටියද කියන්න මං හරියට දන්නේ නෑ දරුවො."

"වලහා කාපු හාමුදුරුවො?" ෂෙල්ටන් එයම ප්‍රතිරාවය කළේ තමා තුළ උපන් කුහුල එපරිද්දෙන්ම පිට කරමිනි.

"මං ඔය හිටපු කාලෙ, ඒ කියන්නෙ දරුව එකදාස් නමසීය පන්ස් ගණන්වල තමයි ඔය කියන හාමුදුරුවොත් ඒ හිමේ හිටියේ. ඒ කාලෙ හිමේදි මූණ වලහෙක් කාපු ලොකු කැළලක් තිබුණා. හිමේ පහළ ගම්වල කවුරුත් ඔය හාමුදුරුවන්ට වලහා කාපු හාමුදුරුවෝ කියල තමයි කිව්වේ. අදත් එහෙම කිව්වම ඒ පැත්තේ මිනිස්සු හැමෝම දන්නවා."

ෂෙල්ටන් සාවධානව අසා සිටියේය. එහෙත් තමාගේ සිතේ පවතින සිහිනය සැබෑ කර ගන්නට මාර්ගය තවමත් මේ තවුසා වෙතින් අසා දැනගන්නට අවකාශ ලැබුනේ නැත.

"ඇත්තටම මං මේ ඔබතුමාගෙන් අහන්නෙ චිත්ත ශ්ක්තිය දියුණු කරගන්න ඔය සිරිපාද හිමේ තරම් හොඳ තැනක් තවත් නැතිලු නේද?" ෂෙල්ටන් අවශ්‍ය තැනට කතාව යොමු කරමින් ඇසීය.

නාරද තුමා සෘජුව මේ තරුණයා දෙස බැලීය. ඔහු තුල පවත්නා උද්යෝගය ඔහුගේ දෑසින් ද පිළිබිඹු වේ.

"ඒක ඒ විදිහමයි කියලා කියන්න අමාරුයි පුතා. තමන්ගේ සිත පහදවා ගන්න සිත දියුණු කරන්න ඔනෑම ආරන්‍යයක් සුදුසුයි කියලයි මං නම් හිතන්නේ."

"එතකොට ඔබ තුමා අවුරුදු දොලහක්ම එහේ හිටියාය කිව්වේ?" ෂෙල්ටන් ඇසීය.

"ඔව් මං 1956 ඉඳල 1968 වෙනකල් එහේ උන්නා තමයි. මං ඒ කැලෑවට වෙලා අනාපාන සති භාවනාවයි, මෛත්‍රී භාවනාවයි ප්‍රගුණ කලා."

නාරද තුමාගේ දෙතොලෙහි නිරවුල් ප්‍රසන්න සිනහවක් නැගී තිබිණ. මේ තරුණයා විමසන එම අතීතය දෙස බලන විට ඔහුගේ සිතට ඒ සියළු දේවල් මේ මොහොතේද එලෙසින්ම මැවී පෙනෙන්නාක් මෙන් දැනේ.

"එතකොට ඔබතුමා සමථ භාවනා මිසක් විදර්ශනා භාවනා වඩල නෑනෙ?" ෂෙල්ටන් මහත් කුතුහලයෙන් යුතුව විමසීය.


"විදර්ශනා වඩන්න නිකම් බැහැ දරුවෝ. ත්‍රිලක්ෂණය දකින මට්ටමට ඒකට සමථ භාවනාව තමයි හිඳින් ප්‍රගුණ කරන්න ඕනෙ. ඒ නිසා සමථ භාවනාව සුළුකොට හිතන්න එපා."

ෂෙල්ටන් යළි කල්පනාවට වැටිණි. සමථ හෝ විදර්ශනා වැඩීම නොව ෂෙල්ටන්ගේ සිත නැඹුරු වී තිබුණේ සිත දියුණු කළ හැකි යෝග ක්‍රම කෙරෙහි ය.

"මට වුවමනා සිත දියුනු කර ගැනීමේ යෝග ක්‍රමයක් හොයන්න යි" ඔහු සිය අදහස සෘජුව කියා සිටියේය.

"බුදු හාමුදුරුවෝ යෝග කියල හැඳින්වූයේ භාවනා ක්‍රම. ඒ නිසා බෞද්ධයන් හැටියට අපිට වෙන වෙන යෝග ක්‍රම වුවමනා නෑ. සංසාර විමුක්තිය ලබන්න පුළුවන් බෞද්ධ භාවනා ක්‍රම තමයි කරන්න ඕනේ."

මින් ෂෙල්ටන් ගේ සිතට ඇති වූයේ නොසන්සුන් බවකි.

"මං සංසාර විමුක්තිය සඳහාම නෙමෙයි ලෝක අර්ථ චරියාව සඳහායි සිත දියුණු කර ගන්නේ..."

නාරද තුමා යළිදු ෂෙල්ටන් දෙස සෘජු බැල්මක් හෙලීය. මොහුගේ කතාවට අනුව මොහු ධර්මගවෙෂී කෙනෙකු මිස බෞද්ධ ශික්ෂාවන්හි හැඩ ගැසුනු කෙනෙක් නොවන බව පැහැදිලිය. එබැවින් මේ පිළිබඳව තවත් යමක් පැවසීම අවශ්‍ය බවක් නොපෙනේ.

"දරුවා කවදා විතරද හිමේ යන්න බලාපොරොත්තු වෙන්නේ?" නාරද තුමා සන්සුන් හඬින් විමසීය.

"අවස්ථාවක් ලැබුන ගමන්ම"

"ඔය ගමන සුළුවට හිතන්න එපා දරුවා. සිරිපාද අඩවියේ ඔය පලාබද්දල, බලවන්, අඳිරිල්ල වගේ මිනිස් වාස තියෙන ප්‍රදේශවල ඉඳම් මොනවා හරි කරනවා වගේ නෙමයි උඩට ගියහම අන්තරාකාරී බව වැඩියි. හුඟාක් අභියෝගවලට මූණ දෙන්නත් සිද්ධ වෙනවා. හරියට කමටහන් ගන්නේ නැතුව එක පාරටම ඔය වගේ තැනකට ගිහින් හිතුමනාපේ භාවනා ක්‍රම ප්‍රගුණ කරනවයි කියන එක හරිම භයානකයි. මානසික ආබාධ වුනත් හැදෙන්න හිඟක්ම ඉඩ තියෙනවා. එහෙම වුනොත් අපරාදේ වටිනා මනුස්ස ජීවිතේ."

නාරද තුමා කීවේ මෙහි බරෑරුම් බව තත්‍ය පරිද්දෙන්ම දන්නා බැවිනි. එවන් අතිශය දුෂ්කර දිවියක් මෙබඳු සියුමැලි තරුණයෙකුට කිසිසේත් උචිත හෝ ඔරොත්තු නොදෙන බව හොඳින් දන්නා නිසාය. ඒසේ නම් ඊට පෙර මේ සඳහා ඔහු හැඩ ගැසිය යුතු පිළිවෙළක් ඇත.

එහෙත් ෂෙල්ටන් සිතුවේ අනෙකකි. තම ගමනට මෙම තවුසා මුළුමනින්ම ආශිර්වාද කරනු ඇතැයි යන්න ඔහුගේ අපේක්ෂාව වී තිබිණි. එහෙත් දැන් ඒ වෙනුවට
සිදුව ඇත්තේ වෙනත් දෙයකි.

නමවන කොටස

අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ
ආනන්ද මෛත්‍රී මහ නාහිමියන්
භාවනාව පිළිබද විශේෂයෙන් යොගී ක්‍රම පිලිබදව තව තවත් කරුණු සොයා බලන්නට ෂෙල්ටන් තුල නැගෙමින් පැවති ආශාව සීග්‍රයෙන් දළුලන වෘක්ෂයක් මෙන් වැඩෙන්නට විය. මේ නිසාම මේ සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබෙන කාගෙන් හෝ දැන විමසා ඉන්පසු සිරිපා හිමයට යන අදහස ඔහු තුල ඇති වුනි.

අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් යලි බැහැදැකීමට යා යුතුය යන අදහස ෂෙල්ටන් තුල පැන නැගුනේ හදිස්සියේමය. මෙරට වැඩ සිටි ප්‍රමුඛතම ගණයේ සිල්වත් ගුණවත් පඩි රුවනක් වූ එම න හිමියන් වෙතින් තමන්ට අවශ්‍ය දේ පිලිබඳ මුලික අවබෝධයක් ලබා ගත හැකි යැයි නිශ්චය කළ ෂෙල්ටන් අගනුවරින් අළුයමින්ම පිටත්ව බලන්ගොඩ කරා නික්මුණි.
ඔහුගේ වාසනාවකට මෙන් ආනන්ද ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් එදා පන්සලෙහි වැඩ සිටියහ.

නා හිමියන්ට වැඳ එකත්පසෙක වැඩි වූ මෙම තරුණයා නා හිමියන්ගේ පින්බර මුහුණ දෙස මහත් ඕනෑකමින් බලා සිටියේය. තමා ආ කාරණයට පිවිසීමට ඔහුට තවත් වෙලාවක් ගත විය.

"ස්වාමින් වහන්ස, මට භාවනාව ප්‍රගුණ කරන්න ලොකු වුවමනාවක් තියෙනවා. ඔබ වහන්සේගෙන් මට භාවනාව ගැන විස්තර දෙන ගන්න ඕනේ. භාවනාව වන්න නම් බුද්ධාගම ගැන හොදින් ඉගෙන ගෙන ඉන්න ඕනේ ද?" ෂෙල්ටන් නාහිමියන් දෙස බලාගත් වනම විමසීය.

නාහිමියන් මදක් නිහඬව මෙම තරුණයා දෙස බලා සිටියේය. ඔහුගේ මුහුණේ බලාපොරොත්තු සහගත බවක් සහ ඊට යටින් දිදුලන අධිෂ්ඨාන පූර්වක බවක්ද පෙනේ. මොනවා වුවත් මොහු නව යොවුන් තරුණයකු බව නම් පැහැදිලිය. ඔහු වර්තමානයේ වෙසෙන බොහෝ තරුණයන්ට වැඩ වෙනස් සිතුම් පැතුම් වලින් යුත් අයෙකු බව යම් පමණකට හෝ සිත ගැනීමට පුළුවන. නාහිමියන් තමා හාන්සි වී සිටි අසුනෙහිම සිය කය ඍජුකොට වාඩි වුනි.

"භාවනාව වඩන එක බොහොම හොඳ දෙයක්. භාවනාව බොහොම පුළුල් දෙයක්. එක බුද්ධාගමට විතරක් අදාල වෙන දෙයක් නෙමයි දරුවා. භාවනාව කියන්නේ සිත හසුරුවා ගන්න එක. මේකෙන් මෙලොවට වගේම පරලොවටත් යහපත් සලසා ගන්න පුළුවන්".

ෂෙල්ටන් දැහැනකට සම වැදුනාක් බඳුව නාහිමියන් වෙතින් දෙනෙත් ඉවත් නොකරගෙනම බල සිටියේය.

"භාවනාවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, කියන තිලක්ෂණය දැකල සංසාරික ස්වභාවයේ හේතු ප්‍රත්‍යන් අවබෝධ කරගෙන සංසර ගමන කෙටි කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ ප්‍රතිපදා මාර්ගය නම් තියෙන්නේ බුදු දහමේ විතරයි. ඒ වගේම බෞද්ධ භාවනා ක්‍රම මගින් වුනත් තව හුගාක් දේවල් කරන්න පුළුවන්".

මහනාහිමියන් යළිඳු සිය හාන්සි පුටුවෙහි සුව පහසු ලෙස හාන්සි වුනි. මහනාහිමියන් දෙස මහත් වුවමනාවෙන් බල සිටි ෂෙල්ටන් ගේ කුහුල තවත් වැඩිවිණ.

"මොනවාද ස්වාමින් වහන්ස ඒ?" ෂෙල්ටන් අතුරු ප්‍රශ්නය නැගුවේ ඒ බලවත් වූ උනන්දුව අතරිනි.

"බෞද්ධ භාවනා ක්‍රම කොටස් දෙකයි. සමථ භාවනා සහ විදර්ශනා භාවනා තමයි ඒ කොටස්. සමථ භාවනාවෙන් කරන්නේ සමාධියෙන් සිත් දියුණු කිරීම, විදර්ශනා භාවනාවෙන් වෙන්නේ විදර්ශනා ඥානය දියුණු වීම. සමත භාවනාවෙන් අපි සිත එක තැන රඳවා ගන්න පුරුදු වෙනවා. නිතර නිතර සමථ භාවනාව වඩන කොට සිතේ සම්ධියක් ඇති වෙනවා. සමාධියත් එක්කම වැඩෙන්නේ නුවන. ඒ එක්ක සිත කිළුටු කරන ඔය කමච්ජන්ද වගේ පංචනීවරණ ධර්ම ටිකින් ටික තුනී වෙලා යනවා. ඊට පස්සේ සිතේ අමුතුම සැහැල්ලුවක් එක්ක ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ සිත අනිත් අයව අවනත් කරගැනීමේ ශක්තිය ඇතිවෙනවා."

ෂෙල්ටන් තමා එතෙක් වාඩි වූ හුන් නොඋස් බැංකුව තව ටිකක් මහ නා හිමයන් වෙතට සමීප කරා ගත්තේය. තමා මේ දකිමින් සිටින්නේ තමන් අපේක්ෂා කළ සිහිනයම නොවේද?

"ඊට පස්සේ අපේ හාමුදුරුවනේ?" මහනාහිමිට පියවර කීපයක් සමීප වූ ෂෙල්ටන් විමසීය.

"ඔය ශක්තිය ඔස්සේ රූපාවචර, අරූපාවචර ධ්‍යාන ලබල ඊළඟට අභිඥා ඇති කරගන්න පුළුවන්. ඒ ඔස්සේ ධ්‍යාන බල ලබන්නත් පුළුවන්. නමුත් ධ්‍යාන ලැබීමත් නිවන් අරමුණු කිරීමත් අතරේ සම්බන්ධයක් නැහැ"

"ඔබ වහන්සේ ඔය බෞද්ධ භාවනා ක්‍රම අරුණම තවත් භාවනා ක්‍රම දන්නවද?" ෂෙල්ටන් අතුරු ප්‍රශ්නයක් නැගිය.

"අයි නැත්තේ! මං ඉන්දියාවේදී ඒ හුගාක් භාවනා ක්‍රම හදාරලා තියෙනවා ලෞකික වගේම පාරලෞකික යහපතත් ඒවායින් ලබන්න පුළුවන්. එත් නිවනට යන්න නම් ඒවා නෙමයි ප්‍රගුණ කරන්න ඕනේ. බෞද්ධ ක්‍රම විතරයි."

නාහිමියන් එසේ කිව්වත් චිත්ත ශක්තිය යෝග ක්‍රම පාරලෞකික දේවල් පිළිබද උනන්දුවක් දැක්වූ ෂෙල්ටන් ගේ සිතේ මහනාහිමියන් පැවසූ අවසන් වැකිය සනිටුහන් වුයේ නැත.

"අදටත් ඒ වගේ භාවනා ක්‍රම ප්‍රගුණ කරපු අය ඉන්නවද ස්වාමින් වහන්ස? ෂෙල්ටන් විමසුවේය මහත් උනන්දුවෙනි".

"අපොයි මොකද නැත්තේ? ඍදධි බලයෙන් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් විද්‍යාධරයන් රෝග සුව කරන්න පුළුවන් විද්‍යාධරයන් ගුප්ත ශාස්ත්‍ර ප්‍රගුණ කරපු අය හිමාලයේ අදටත් වාසය කරනවා".

මහත් තෘප්තිමත් සිතකින් යුතුව යලි නාලන්දාරාමයට පැමිණි ෂෙල්ටන්ට එදින අසන්න ලැබුනේ තවත් විස්මය දනවන සුළු පුවතකි. එනම් වරින් වර හිමාල වනයට ගොස් භාවනා කරන උගත් ශ්‍රී ලාංකිකයෙකු වරින් වර නාලන්දාරාමයට පැමිණ යන බවයි.

දසවන කොටස

හිමාල කඳුවැටියේ දිගු කලක් භාවනානුයෝගිව හුන් අපූරු මිනිසෙකු නාලන්දාරාමයට එන යන බව ඇසීමෙන් ෂෙල්ටන් අසීමිත ප්‍රීති ප්‍රමොදයකට පත් විය. තමාගේ ඒකායන අරමුණ සඵල කර ගැනීමට තිබෙන මාවතෙහි බාධක එකින් එක ඉවත් වෙමින් පවතින බවක් ඔහුට හැගෙන්නට විය. ඔහු මහත් වුවමනාවකින් යුතුව මේ පුද්ගලයා යලි නාලන්දාරාමයට පැමිණෙන තුරු ඉවසිල්ලෙන් පසුවිය. ඔහු පැමිණි දිනෙක කෙසේ හෝ තමාට මුනගස්වන ලෙසද ෂෙල්ටන් එහි පොඩි හාමුදුරුනමකටද පවසා තිබිණ.

එක්තරා අපූරු හවස් යාමයක මේ පුද්ගලයා අහම්බෙන් මෙන් නාලන්දාරාමයට ගොඩවැදී තිබිණි. පොරොන්දු වූ පරිදි පොඩි හාමුදුරුවන් ෂෙල්ටන් සිටි කාමරයට පණිවිඩයක් යවා ඔහු කැඳවිය. ඔහු කල් ඇතිවම දැන සිටි පරිදි හෙතෙම චන්න මහත්තයා නමැත්තෙකි.

ධර්ම ශාලාවේ එක් කොනක වාඩිවී හිඳින වයස්ගත පුද්ගලයෙකු හැරුණු කොට ඒ කියූ මහතා පෙනෙන්නට නැත. දිවි මගෙහි අසරණ වුවෙකු හට බෙහෙවින් සමාන පෙනුමක් ඇති ඔහු හැර මේ කියූ 'චන්න මහත්තයා' කොහේදැයි හෙතෙම විමසිලිමත් විය. ෂෙල්ටන් මහත් කුකුසකින් යුතුව පොඩි හාමුදුරුවන්ගේ මුහුණ බැලුවේ එවන්නෙකු පෙනෙන්නට නොමැති බැවිනි.

"හාමුදුරුවනේ කෝ ඔය මහත්තයා ආවාසේ ඇතුලට ගිහින්ද? නැත්නම් හදිස්සියේ මොකක් හරි වුවමනාවකට ඇවිත් අපහු ගියාද දන්නේ නෑ."

"නෑ ෂෙල්ටන් අර වාඩි වෙලා ඉන්නේ ඒ චන්න මහත්තයා තමයි" පොඩි හාමුදුරුවන් වහා පැවසීය.

"අර බිම වාඩිවෙලා ඉන්න මනුස්සයා? ෂෙල්ටන් හෙමිහිට පවසා ගනිමින් යලිත් ඒ පුද්ගලයා දෙස හොඳ හැටි බැලීය."

ඉදුණු කෙස් ගසින් සහ රැවුලින් යුතු ඔහුගේ කෙස් ගසුත් රැවුල් ගසුත් අපිලිවෙලකට රිසිසේ වැවී ඇත. කිලිටි හා දුර්වර්ණ වූ සරමකිනුත් කමිසයකිනුත් සැරසී සිටි ඔහු එබඳුම කිලිටි දුර්වර්ණ පැහැයෙන් යුතු කහ පැහැති සළුවක් එකී උරයක දරා හිඳියි. කිලිටි වී ගිය ඔලොගුවක්ද එක උරහිසකින් එල්ලා වැටේ. ෂෙල්ටන් ඈතින් හිඳ ඔහුව හොඳින් නිරීක්ෂණය කර යලිත් තේරුම් ගත නොහැකි සැකයෙන් හාමුදුරුවන්ගේ මුහුණ බැලීය.

"හාමුදුරුවනේ ඒ මනුස්සයා ඔය ඉන්න විදිය හරි පුදුමයිනේ. ඔය හිමාලයේ භාවනා කරපු කෙනෙක් කියල මට නම් කීයටවත් හිතන්න බැහැ" ෂෙල්ටන් තමන් තුල ඊළගට නැගුනු සැකය හාමුදුරුවන් ඉදිරියේ තබමින් විමසීය.

"ඒ මහත්තයා භාවනාවෙන් සම්මත ලෝකය ඉක්මවපු කෙනෙක් කියලයි මම නම් හිතන්නේ. එත් බුද්ධ කාලයේ හිටපු රහතන් වහන්සේලා වුනත් කෙලෙස් ප්‍රහින කියල සම්මුතියට පිටුපෑවේ නැහැ. කොහොම නමුත් ෂෙල්ටන් හිමාලයේ භාවනා කලාය කියපු චන්න මහත්තයා තමයි ඔය. දැන් ෂේල්ටන්ම ගිහින් කතා කරලා බලන්න. මං යන්නම්" පොඩි හාමුදුරුවන් ෂෙල්ටන් වෙතින් සමුගත්තේය. ෂෙල්ටන් හෙමින් හෙමින් එම යෝගාවචරයා වෙත සමීප විය.

"ඔබ තුමාව දැන ගන්න මම බොහොම කැමැත්තෙන් හිටියේ ..."

ෂෙල්ටන් වචන එකින් එක පිළිවෙලට හසුරුවමින් පැවසීය. මේ වියපත් පුද්ගලයා අඩක් හිස හරවා ෂෙල්ටන් වත යන්තමට හිනාවක් පෑවේය.

"ඔය ළමයා කවුද?" ඔහුගේ පෙනුම කෙසේ වතුද කටහඬේ ප්‍රසන්න බවක් ඇතැයි ෂේල්ටන්ට වහා හැඟින.

"මං මේ පන්සලේම නතර වෙලා ඉන්න කෙනෙක්" යයි කෙටියන් පැවසූ ෂෙල්ටන්, "ඔබතුමා හිමාලයේ භාවනා කරපු කෙනෙක් මට දැන ගන්න ලැබුනා. මාත් භාවනාව ගැන ගොඩක් උනන්න්දු වෙන කෙනෙක්. ඔබ තුමා කොච්චර කලක් එහෙ ගත කළාද?" යයි විමසුවේ සිත තුල සීග්‍රයෙන් පිබිදී එන උනන්දුව තුලිනි.

"දරුවා භෞතික වශයෙන් හිමාලයට යාමේ වගැත්කමක් නැහැ. ඒක දඩයම් කාරයෝ මංකොල්ල කාරයෝ කරන දෙයක්. ඒ නිසා බෞතික වශයෙන් කරන ගමන් බිමන් වැදගත් නැහැ. නමුත් භාවනාවෙන් චිත්ත ශක්තිය පුබුදුවා ගත්තොත් අපිට පුළුවනි මේ විශ්වයේ ඕනෑම තැනකට ඒක මොහොතකින් යන්න."

ඔහු කී දෙය වඩාත් පැහැදිලි කරගැනීමට සිත ෂෙල්ටන් තව ටිකක් ඔහුට සමීප විය.

"ඒ කියන්නේ මහත්තයා සිතින් විතරක් නේ?"

"නැහැ ළමයා අපේ ශරීරය මෙහෙ තියෙද්දීම ප්‍රකෘති වශයෙන් වුනත් ලෝකේ ඕනෑම තැනකට යන්න පුළුවන්" ෂෙල්ටන් දෙස සෘජු බැල්මක් හෙලමින් හේ පැවසීය.

"කොහොමද ඒක ඔප්පු කරන්නේ?"

"එතකොට අපට එතන යම් දෙයක් සිද්ධ වෙනවනම් ඒක ඒ විදියටම බලන්න පුළුවන්. ඒ වගේම අපට එතනට බලපෑම් කරන්නත් පුළුවන්. දැන් අපිට මෙතන ඉඳගෙන නුවර දළදා මාලිගාව සිද්ද වෙන දේවල් ඒ විදියටම බලාගන්න පුළුවන් කියන එකයි"

සුරඟන කතාවකට බලවත් උනන්දුවෙන් සවන් යොමු කර ගෙන හිඳින කුඩා දරුවෙකු මෙන් ෂෙල්ටන් මේ වියපත් පුදගලය දෙස බලා සිටියේය.

"ඒ වගේම පුතා මේ ලෝකේ පවතින යම් යම් ශක්ති පදාර්ථ සිත දියුණු කරගැනීම තුලින් අපිඅට පුලවන් ග්‍රහණය කරගන්න. එකට තමයි විශ්ව ශක්තිය ආරෝපණය කර ගන්නවා කියන්නේ"

"අර බලන්ගොඩ මහනායක හාමුදුරුවොත් ඔහොම කතාවක් කියනවා. ඔඅක තමයි මටත් දැනගන්න ඕනි. කොහොමද ඕක කරන්නේ?" ෂෙල්ටන් අතුරු ප්‍රශ්නයක් නැගිය.

"ඒක එකපාරටම තේරුම් කරන්න අමාරුයි ඒ නිසා මං පුංචි නිදර්ශනයක් කියන්නම්. ලෝකේ හැම තැනම විද්‍යුත් තරංග තියෙනවා. මේ විද්‍යුත් තරංග ග්‍රහණය කරගත හැකි රුපවාහිනියක් ගුවන් විදුලි යන්ත්‍රයක් වගේ දෙයක් තිබිල ඒවා අදාල විදියට ක්‍රියාත්මක කලොත් ඒ රූප ශබ්ද දෙකම ඒවාට ඇතුල් කරන්න පුළුවන්. අපේ සිතේ තියෙන ශක්තිය අවශ්‍ය විදියට පුබුදුවා ගැනීමෙන් විශ්ව ශක්තිය අපි තුලට පිවිසුවා ගැනීමත් හරියට අන්න ඒ වගේ දෙයක්"

"ඒ කියන්නේ ගුවන් විදුලි තරංග වගේ තවත් තරංග විශේෂයන් මේ ලෝකයේ පවතිනවද?" ෂෙල්ටන් ඇසීය. "ඒවා තරංග වශයෙන්ම හදුන්වන්න බැහැ. ශක්ති පදාර්ථ අර ගුවන්විදුලි තරංග වගේ භෞතික ඥානයට ගොනු කරන්න බැහැ. එකයි නවීන විද්‍යාවට ඒවා අහු නොවෙන්නේ. නමුත් භාවනාව මාධ්‍යක් කරගෙන අධ්‍යාත්ම ශක්තිය දියුණු කර ගැනීමෙන් ඒ ශක්ති පදාර්ථ හසු කරගන්න පුළුවන්"

මේ තැනැත්තා බාහිර වශයෙන් බෙහෙවින් අවුල් සහගත තත්වයක් පල කළාද අධ්‍යාත්මික වශයෙන් කිසියම් ප්‍රබල තත්වයක පවතින බව ෂේල්ටන්ට පෙනිණ. එසේම තමන් යායුතු මාර්ගයට පැහැදිලි මග පෙන්න්වන්නෙකු හමුවුයේ යයිද ඔහුගේ සිත ප්‍රීතියෙන් ඔද වදී තිබිණ.

"මාත් ඕවා ගැන හුඟක් උනන්දු වෙන කෙනෙක් ඔබ තුමාට බැරිද මට තව ටිකක් ඔය ගැන පැහැදිලි කරලා දෙන්න."

"මිනිස් මොලයේ පවතින ශක්තියෙන් සියට දහයකටත් වඩා අඩු ප්‍රමාණයක් අපි කවුරුත් ප්‍රයෝජනයට ගන්නේ. හරියට අක්කර ගණනාවක ඉඩමක කොනකට වෙන්න පුංචි ගෙයක් හදාගෙන පදිංචි වෙලා ඉඩමේ අනික් ප්‍රදේශය වල බිහිවෙන්න ඇරලා බලාගෙන ඉන්නවා වගේ. එත් ඔනිකමක් තියෙනවනම් කෙනෙකුට පුලුඅවන් අර වල බිහිවුන කොටස ශුද්ධ කරලා විශාල වගාවක් දල එකේ ප්‍රයෝජනය ගන්න. විශ්වයේ අප්‍රමාණ ශක්ති ප්‍රවාහයන් යොදවල අසමසම විපලවයක් උනත් කරන්න."

"කොහොමද මහත්තය අපි ඒ දේට යොමු වෙන්නේ?" ෂෙල්ටන් ඇසීය.

"භාවනාවෙන් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ සඳහා භාවනාව ගැඹුරටම ප්‍රගුණ කල යුතුයි" චන්න මහත්තය කීය.

"ඒ කියන්නේ මහත්තයට ඒ ශක්ති ප්‍රවාහ මුණ ගැහිලා තියෙනවද?"

"මට සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මෑත අතීතයේ හිටපු තවත් ප්‍රසිද්ධ කීප දෙනෙක්ම මට හම්බුනා. මං ඒ ය එක්ක විස්තර කතා කරලත් තියනවා. සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ අදත් ඉන්නේ කම්පාවෙන්" චන්න මහත්තයා කීය.

"ඒ ඇයි?" ෂෙල්ටන් අයාගත් මුවින් යුතුව ඇසීය "එතුමා ගැන ඉතිහාසයේ ලියවිලා තියෙන කතා පට්ටපල් බොරු කියල එතුමා මාත් එක්ක කියල තියෙනවා" චන්න මහත්තයා සන්සුන් ස්වරයෙන් කීය.

"මට ඔබතුමාගේ අනුගාමිකයෙක් වෙන්න බැරිද?"

ෂෙල්ටන් අසත්ම චන්න මහත්තයා මුවට මද සිනාවක් පිවිසුණි.

"තව කෙනෙකුගේ අනුගාමිකයෙක් වෙලා ඔය තත්වය ලබන්න බෑ දරුවා. තමන් තුල වූ ශක්තිය පුබුදුව ගැනීමෙන් විතරයි ඔය තත්වයට ලංවෙන්න පුළුවන්"

එහෙත් කලක් එංගලන්තයේ ද ජීවත් වූ වෘතියෙන් ගණකාධිකාරිවරයෙකු සිට දැන් සියල්ල හැරදා භාවනානුයෝගිව වෙසෙන මේ අපුරු පුද්ගලයා තමන්ට නියම මග පෙන්වන්නෙකු වියහැකි බව ෂෙල්ටන් තදින්ම විශ්වාස කළේය. ඒ අනුව ඔහුගෙන් පාර අසාගෙන තමා මේ දක්වා අපේක්ෂා කල මගට පිවිසෙන්නට ෂෙල්ටන් දැඩිව අදිටන් කරගත්තේය.

එකොලොස්වන කොටස

ෂෙල්ටන් සිය සුළු මවත් සමග අමනාප වී ගෙදරින් පිට විත් මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගතව තිබිණි. ඔහු එදා ගෙදරින් පිටව ආවේ තනිවම නොවේ. තමාගේ එකම සොයුරියත් කැටුවය. ඇයව හක්මන සිටි මිත්තනියගේ ගෙදර නවත්වා ඔහු කොළඹ පැමිණ තිබිණි.

ඔහු එබඳු තනි තීරණයක් ගෙන ගමෙන් පිටව එන විට ඔහුගේ පිය ගෙදර සිටියේ නැත. ඔහු මේ පුවත දැන ගත්තේ හැන්දෑවේ ගෙදර ආපසුවය. මොනවා වුනත් තම වැඩිමහල් පුතුට මෙන්ම වැඩිමල් දියණියටත් ඔහු බෙහෙවින් ආදරය කළේය. විශේෂයෙන් ඔවුන්ට හය හතර නොතේරෙන ළමා වියෙදීම මව් උණුසුම අහිමිව ගිය බැවින් ඔහු දෙවන විවාහයේ දරුවන්ටද වඩා වැඩිමල් දරු දෙදෙනාට වැඩි සෙනෙහසක් දක්වීය. මේ අනුව ඔවුන් දෙදෙනාගේ නික්ම යාම මොහුට කෙසේවත් දරාගත හැකි වුයේ නැත.

"ඔහේට තිබුනා උන් දෙන්නාව නවත්ත ගන්න. ඔහේගේ වැරැද්දෙන් උන් දෙන්න ගියේ" යනුවෙන් බිරිඳට චෝදනා කල ඔහු නිරතුරුව ෂෙල්ටන් සහ ප්‍රදීපා ගැනත් දුක් වුයේය.

"හිතේ කේන්තියට ගියා උනත් උන්දෙන්නා මාව බලන්න අයෙමත් නෑවිත් ඉන්න එකක් නෑ. ලොකු කොලුවයි, කෙලීයි දෙන්නම් මට ලෙන්ගතුයි." යනුවෙන් තමාටම පවසා ගනිමින් මෙම පියා දිනපතා ඔවුන් දෙදෙනාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසුවිය. නමුත් දවසින් දවසම ඔහේ ගෙවී ගියා විනා ඔහුගේ බලාපොරොත්තු සපල වන බවක් නොපෙනින.

දරු කැකුමින් ඔහුගේ ලය ඇදුම්කමින් පැවතියේය. දියණිය දැකීමට හක්මන යාමටත් ඔහුට පුළුවන්කමක් තිබුනේ නැත. විශේෂයෙන් පළමු බිරිඳගේ මව ඔහු සමග හිත නොහොදින් පසු වීම ඊට හේතුවයි. හැරත් ඔවුන් සිතා සිටින්නේ තමාත් තම දෙවන බිරිඳත් වැඩිමල් දරුදෙදෙනට වෙනස්කම් කරන බවකි. මෙබඳු හේතුන් නිසා හක්මන ගියොත් සිදුවන්නේ දියණිය එක්කරගෙන ඒමට නොව පරණ තරහා මරහා අලුත් කර ගැනීමටය. එයින් පලක් වන්නේ නැත. පුතා බැලීමට වලස්මුල්ලේ සිට කොළඹ පැමිණීමටද ඔහුට කල හැක්කක් නොවිය.

මුළුමනින්ම බිහිරි පුද්ගලයෙකු වූ හෙතෙම ඒ වන විට දුබල කාය ශක්තියකින්ද යුතු විණි. මේ නිසා දරුවන් දෙදෙනා තමා සොයා පැමිණෙන තුරු බලා සිටිනවා හැර ඔවුන් සොයා යාමේ හැකියාවක් මෙම පියාණන් සතුව තිබුනේ නැත.

එහෙත් එම බලාපොරොත්තුව ඉටු නොවූ තැන ඔහු සියලු කෝපය පහ කලේ බිරිඳ වෙතිනි. මේ නිසාම නිවසේ දෙන්නා දෙමහල්ලන් අතර ගැටුම් නැති දවසක් නොතිබූ තරම් විය.


ෂෙල්ටන් ගේ සොයුරු ස්ටීවන්
මේ වනවිට ෂෙල්ටන් වැඩිමහල් සොහොයුරා එනම් පියාගේ දෙවන විවාහයේ වැඩිමහල් පුතු වන ස්ටීවන් සාමාන්‍යපෙළ හදාරා අවසන් වී තිබිණ. ඔහු එම විභාගයෙන් යහපත් ප්‍රතිඑල ලබා සිටියේය. එහෙත් ගෙදර තිබු කටුක වාතාවරණය මත ස්ටිවෙන්ට තවත් ඉහලට ඉගෙන ගැනීමට නොහැකි බවක් පෙනින. විශේෂයෙන් මව සහ පිය අතර ඇතිවූ නිරන්තර ගැටුම් ඔහුගේ සිත මහත් කම්පනයකට පත් කොට පැවතියේය. තවත් ටිකක් ඉහලට ඉගෙන ගන්නට නම් මේ ගෙදරින් ඈත් විය යුතු බව ස්ටීවන්ගේ හිත කියන්න විය. ඒ අනුව නිවසින් පිටව ගොස් පුද්ගලික පන්තිවලින් හෝ අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට ඔහු පියාගෙන් අවසර පැතීය.

ස්ටීවන්ගේ ඊළඟ සොයුර වුයේ ලලිත් කුමාරය. ඔහු ඉන් කලකට පෙර සිටම ගාල්ලේ පිරිවෙනක නතරව සිටි අතර කලක් තිස්සේ ඔහු තුල තිබු අපේක්ෂාව මුදුන් පමුණුවා ගනිමින් ශාසනරතන නමින් මේ වනවිට පැවිදි බිමට අවතීර්ණව තිබිණ. පිරිමි දරුවන් කීපදෙනෙක් සිටි පවුලේ එක දරුවෙකු ශාසනයට ඇතුල් කරන්නට
ෂේල්ටන්ගේ පියාද කැමැත්ත පළකළේය. මහණ බිමට පිළිපන් පසුවද දිගින් දිගටම එම පිරිවෙනේම නතරවී අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නට ශාසනරතන හාමුදුරුවන්ට හැකිවී තිබිණි.


ශාසනරතන හිමි
එකම අවුල් ජාලාවක්ව පවතින තම නිවහනෙන් ස්ටීවන් ද පිටවයනවාට පියාගෙන් විරුද්ධත්වයක් තිබුනේ නැත. හැරත් ඔහු යන්නේ දිගින් දිගට සිය අධ්‍යාපන කටයුතුවල නියැලෙන අදහසිනි. ඒ සඳහා වියදම් දැරීම තමාට අසීරු සේම මේ නිවසේ රැඳී එය කරගෙන යාමටද ඔහුට අපහසු බව පිළිගත යුතුය. ඔහු ස්ටීවන් හා එකඟ වුයේ මේ සියල්ල සලකා ගෙනය.

ස්ටීවන් වලස්මුල්ලේ සිට ගාල්ලට පැමිණියේය. ගාල්ලේ ඔවුන්ගේ ඥාති නිවසක ඔහු නතර වී පුද්ගලික පන්තිවලට යාමට පටන් ගත්තේ කෙසේ හෝ උසස් පෙළ සමත් වීමේ අභිලාෂයෙනි.


කාලය වේගයෙන් ගතව ගියේය. ඒ වනවිට ෂෙල්ටන් අමනාපව ගොස් වසරක් ද ඉක්ම ගොස් තිබිණි. තමාගෙන් ඒ වනවිට ඈත්ව සිටි ස්ටීවන් ගැනත්, ශාසනරතන හාමුදුරුවන් ගැනත් ඔහුගේ සිත සෑහීමකට පත් වී තිබුනත් ෂෙල්ටන් හෝ දියණිය පිළිබඳව සිත පතුලෙහි නිදන්ගතව ඇති දුක ලේසියෙන් යටපත් කල හැකි නොවිණි. ෂෙල්ටන් සිටින්නේ තම වැඩිමහල් සොහොයුරා වූ බණ්ඩාරනායක මහතා භාරයේ බැවින් ඔහුගේ රැකවරණය පිළිබඳව ගැටලුවක් නැත. දියණියට මෙහි සිටිනවාටත් වඩා සැලකුම් මිත්තනියගෙන් ලැබෙනු නිසැකය. එහෙත් තම ජීවිතය කෙමෙන් අවරට යමින් තිබෙන මේ සමයේ දරුවන් අමනාප වීම ඔහුට දැරිය හැක්කක් නොවිණි. දැන් නම් තවත් ඉතින් බලා හිඳිම මෝඩකමකි. ඊළඟ දිනයෙක ස්ටීවන් පැමිණි පසු ඔහුද කැටුව කොළඹ යාමට හෙතෙම අදිටන් කර ගත්තේය.

දොළොස්වන කොටස

ම වැඩිමහල් පුතු නිසා මහත් සිත් වේදනාවෙන් කල් ගෙවමින් සිටි ලයිනේරිස්, බාල පුතු ස්ටීවන් ගෙදර පැමිණෙන තුරු සෑම සතිඅන්තයකම මහත් බලාපොරොත්තු සහගතව පසුවිය. ගාල්ලේ ඥාති නිවසක නතර වී උසස් පෙළ සඳහා පුද්ගලික පංතිවලට සහභාගි වෙමින් සිටි ස්ටීවන් වලස්මුල්ලට පැමිණියේ ඉඳහිට දිනෙකය. පාඩම් වැඩකටයුතු නිසා ඔහුට ගමට නිතර නිතර පැමිණීමේ අවකාශය ඇහිරී තිබිණි.

එහෙත්, ඉඩක් ලද ඊළඟ දිනෙක ගමට පැමිණි පසු තාත්තා මහත් දුක්බර අයුරින් තමාගෙන් කරන ලද ඉල්ලීම හමුවේ ස්ටීවන්ට ඔහු පිළිබඳව මහත් දුකක් දැනෙන්නට විය. තාත්තා මෙන්ම ස්ටීවන්ද ෂේල්ටන්ට දැඩිව ආදරය කළේය. තමන් මව්වරුන් දෙදෙනේකුගේය යන හැඟීම ඒ කිසිවෙකුගේවත් සිත් තුල නොතිබිණි. එනිසාම පසුදින අළුයමින්ම තාත්තා සමග අගනුවර බලා පිට වන්නට ස්ටීවන් එකහෙලාම කැමැත්ත පළකළේය.

පිටකොටුවට පැමිණ එතැනින මරදානේ නාලන්දාරාමය කරා එන විට හවස් වී තිබිණ. ෂෙල්ටන් සිය ලොකු තාත්තා වූ බණ්ඩාරනායක මහතා භාරයේ සිටියද ඔහු නතර වී සිටියේ බණ්ඩාරනායක මහතා විසු කාමරයෙහි නොවේ. එහිම වූ වෙනත් කාමරයකය. කෙසේ වුවද ලයිනේරිස් ස්ටිවන්ද සමග එහි යන විට වාසනාවකට මෙන් ෂෙල්ටන් කාමරයෙහි රැඳී සිටියේය.

වසරකට පමණ පසුව දෙක ගන්නට ලැබුණු සිය වැඩිමහල් පුතු දුටු සැනින් ලයිනේරිස් ගේ ගිලුණු දෑස මත කඳුළු පිරෙන්නට විය. බෙහෙවින් දුබල බවක් අපල කල සිය පිය දෙක ෂෙල්ටන් තුල ඇතිවුයේ මහත් වූ කම්පාවකි.

හිතේ අමාරුව වැඩිකමට නංගිත් එක්ක පිටවෙලා අවට තාත්තා එක්කවත් කුඩම්මා එක්කවත් මගේ අමනාපයක් නෑ. මෙහෙ මට වැඩ වැඩිකම හින්ද තත්තලාව බලන්න එන්නවත් විවේකයක් තිබුනේ නෑ.

ෂෙල්ටන් ඉවත බලාගෙන පැවසුවේ ස්ටීවන්ටද ඇසෙන පරිද්දෙනි. මුවින් පවසන කිසිවක් සවනින් අසාගන්නට වාසනාවක් තාත්තට නැත. ඔහු අට හැවිරිදි වියේදී දෙසවන් බිහිරිව ගිය අයෙකි. කිසිවක් හරිහැටි නැසුනත් පුතු යමක් කියන බව පෙනෙන බැවින් ලයිනේරිස් මුව ය පුතු දෙස එක එල්ලේ බලා සිටියේය.


ලයිනේරිස් රාජපක්ෂ මහතා
"අද හෙටම ඇවිත් යන්න වරෙන් කුඩම්මත් බලන් ඉන්නවා උඹ දැකගන්ඩ" අවසානයේ පුතු කි දේ මද වශයෙන් වටහා ගත ලයිනේරිස් සිය පුතු හට එබඳු අදහසක් දැක්වීය. ෂෙල්ටන් එය එකහෙලාම පිළිගත්තේ පියා පිළිබඳව හටගෙන තිබු කම්පාවෙනි.

කලකට පසුව දැක ගන්නට ලැබුණු සිය සොයුරා තුළ පැහැදිලි වෙනසක් ඇති ස්ටීවන්ට හැඟේ. පෙරටද වඩා ඔහු සන්සුන් බවක් පල කරයි. ඔහු තුළ ඇත්තේ වයසට වඩා මුහුකුරා ගිය ගතියක් හා කතා බහේ පවා මනා සංයමශීලි බවකි.

"මල්ලි දැන් මොකද කරන්නේ?" තම දෙස විමසිල්ලෙන් බලන ස්ටීවන් දෙස බලා ෂෙල්ටන් ඇසීය.

"මං දැන් ගාල්ලේ ඉන්නේ. අයියයි අක්කයි ගියාට පස්සේ ගෙදර හුඟක් ප්‍රශ්න ඇති වුනා. මටත් එහෙ ඉඳල ඉගෙන ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ. තාත්තා හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. ඒ හින්ද අයිය නෑවිත් ඉඉන එපා. අම්මත් දැන් හරියට දුක් වෙනවා අයියල ගියාට" තමාට මෙතෙක් කියන්නට අවශ්‍යව තිබු දෙයක් ෂෙල්ටන වෙත පැවසූ ස්ටීවන් ඔහුගේ මුහුණ දෙස බලා සිටියේ ඔහු කුමක් කියන්නේ දැයි දැන ගන්නට මෙනි.

"මං එන්නනම් ලොකු මල්ලියේ" වැඩි දවසක් නික්ම යන්නට පෙරම ගමේ යා යුතු යයි ඔහු ඒකමතික තීරණයකට පැමිණුනි.

ෂෙල්ටන් කුඩම්මා සමග ගැටුමක් ඇති කරගත්තේ තම නිවසේ නැවතී සිටි ඥාති සොයුරියක් කිසිවෙකු සමග පවත්වාගෙන ගිය නොමන සම්බධයක් හේතුවෙනි. ඇය හා පෙමින් වෙලී සිටි එම තරුණයා පිළිබඳව විවිධ කටකතා ගම පුරා පැතිර තිබිණ. එවන් තැනැත්තකු සමග තම ඥාති සොයුරියකට වුවද සබඳතාවයක් පැවැත්වීම අනුමත කල හැක්කක් නොවේ. එහෙත් අවාසනාවකට මෙන් කුඩම්මා මේ ගැන විරුද්ධත්වයක් පල නොකරයි. ඇය ඊට යම් අනුබලයක් දෙන බවද පෙනේ. ගැටුමක් ඇති වුයේ එබැවිනි. කෙසේ වුවද දැන් ඒ සියල්ල සමථයකට පත් වී ඇති ෂෙල්ටන් විශ්වාස කළේය.

ඊළඟ දිනයක විවේකයක් ලද සැනින් ෂෙල්ටන් ලොකු තාත්තටද පවසා වලස්මුල්ලට යාම සඳහා නික්මුණි. කලකට පසුව දකින ගමපලාතේ ගහකොළ පවා ඔහුගේ සිතට නැවුම ප්‍රබෝධයකට පත් කළේය. තාත්තා කුඩම්මා සහ මල්ලිලාවත් දකින්නට ඔහුගේ සිත් යුහුසුළු විය.

එහෙත්, බසයෙන් බැස පාර දිගේ යන ඔහුට වැඩි දුරක් එලෙස යාමට නොලැබුණි. පෙර කී ඥාති සොයුරිය සහ අගේ පෙමවතා උනුන්ට සමීපව ගැඹුරු කතා බහක නියැලෙමින් පාරේ ගමන් කරනු හදිස්සියේම දුටු ෂේල්ටන්ව ස්වයංක්‍රීයව මෙන් හිටවනම නතර විණි. ඔවුන් ෂෙල්ටන්ව දුටු බවක් නොපෙනින.

"එහෙනම් තවමත් මුන් මේ සම්බන්ධෙ දිගටම ගෙනියනවා. මං කිව්වා දේ අහන්න බැරිනම්, මං මොනවට ඔය ගෙදරට පය ගනහවද?" ෂෙල්ටන් සිතුවේ කෝපයෙනි.

"උන්ට හොඳ නම් මට ඇති රුදාව මොකද්ද? අමාරුවේ වැටෙන්නේ මමද? ඒ කෙල්ලනේ" යනුවෙන් නිකමටවත් සිතන්නට තරම් ෂේල්ටන්ගේ සිතේ බුර බුරා නගිමින් පැවැති කෝපය ඉඩදුන්නේ නැත. ඒ කෝපය නිසාම තාත්තා පැමිණ කල ඉල්ලීමද ඔහුගේ හිතින් බැහැර විණි. ගිය වේගයටත් වඩා වේගයෙන් ආපසු හැරුණු ඔහු ඊට මදක් කිට්ටුව තිබු නැන්දා කෙනෙකුගේ නිවසේ එදින රැය ගත කළේය. තමා හෑල්ලුවට ලක් කළා නොතකා හැරියා යන මදි පුංචිකම ඔහුගේ සිතට දැඩිව දැනෙමින් තිබිණ.

"අයෙත් නම් මං ගෙදර යන්නේ නෑ. නිකන් මෙහෙ රස්තියාදු වුනු එකේ චන්න මහත්තයා හම්බ වෙන්න ගියා නම් භාවනා ගැන තව මොනව හරි ටිකක් ඉගෙන ගන්න තිබුන. මට ප්‍රයෝජනවත් වෙන සතුටක් ලැබෙන එකම දේ එච්චරයි" ෂෙල්ටන් සිතුවේ මහත් පසුතවිල්ලෙනි.


භාවනා කිරීමෙන් අනුන් ගේ සිත් දැන ගැනීමේ නුවන ලැබිය හැකි බව චන්න මහත්තයා කියයි. යමෙකුගේ ශරීරය තුළ පවත්නා වූ සියලුම රෝගාබාධයන් පිලිබන්ධව දැනගැනීමේ නුවණක් ද භාවනාවෙන් ලැබිය හැකි බව ඔහුගේ විශ්වාසයයි. එසේම අහස් කුස පීරා පියඹන උකුසෙකු සේ වර්තමානයෙන් අතීතයටත් අනාගතයටත් ගමන් කිරීමට භාවනාවෙන් පුළුවන. චන්න මහත්තයා පවසන අන්දමට ඔහු භාවනාව ඔස්සේ අතීතයට වැටී පසක් වූ මාවත තුලින් පෙර රජ දවස තෙක් ගමන් කොට ඇති අයෙකි. සැබවින්ම වර්තමානයේ පවත්නා වූ මේ සියළු අසන්තෘප්තිකර තත්වයන් මැඩ එවන් ශක්තියක් තමන් කෙරෙහි ආරෝපණය ක‍ර ගත හැකිනම් කෙතරම් අපූරුද? ඒ අනුව ෂෙල්ටන් කිසියම් නිශ්චිත තීරණයකට එළඹුණි.

දහතුන්වන කොටස

ෂෙල්ටන් මල්වානේ විමලවීර නම් තම මිතුරෙකු සමග
ෂෙල්ටන් මල්වානේ විමලවීර නම් තම මිතුරෙකු සමග
ව දුරටත් විවෘත විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු පාඨමාලාව හැදෑරීම සඳහා සුළු හෝ වුවමනාවක් තිබිණි නම් එයද මේ වන විට ෂේල්ටන්ගේ සිතින් සහමුලින්ම ඉවත්ව තිබිණ. තමා ඉදිරියට යාමට අපේක්ෂිත අධ්‍යාත්මික පක්ෂයෙන් මුළුමනින්ම පරිබාහිර වූ මෙවැනි ශිල්පයක් හැදෑරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? දැන් ඉතින් විවෘත විශ්ව විද්‍යාලයෙන් නික්ම යන්නට කාලය එළැඹ ඇතැයි ඔහුගේ සිත කියන්නට විය.

ඊට පෙර ෂෙල්ටන් තමාට හිතවත් කථිකාචාර්යවරයෙකු හමුවන්නට ගියේය. ඔහු විදුලි ඉංජිනේරු පිලිබඳ බ්‍රිතානයෙන් ද අධ්‍යාපනය ලත් අයෙකි. මෙම කථිකාචාර්යවරයා සමග වටින් ගොඩින් අනං මනං කතා කරන්නට නොසිතු ෂෙල්ටන් කෙලින්ම කාරණයට බැස්සේය.

"මං මේ ඉගෙනීම නතර කරන්න කියල සර්" ඔහු කතාව ඇරඹුවේ එලෙසිනි.

"ඇයි හදිස්සියේම?"

"ඔව්, මට දැන් මේ භෞතික දේවල් ගැන කිසිම ආසාවක් නෑ. මම දැන් භාවනාව ඉගෙන ගන්නවා. ඒ ඔස්සේ ඉදිරියට යන්නයි මගේ අදහස..." යනුවෙන් පැවසූ ෂෙල්ටන් චන්න මහත්තය පිළිබඳව ද බොහෝ තොරතුරු ඔහු හා පැවසීය.

ආචාර්යවරයා පළමුව වදනකුදු නොදොඩා ෂේල්ටන්ට සවන් දුන්නේය. තමා ගෝලයාගේ මුහුණේ ප්‍රසන්න සිනාවක් ඇඳී තිබෙනු ඔහුට පෙනේ. එහෙත් ඔහු යන්නට පය තබා ඇති පාර එතරම් සුභදායි නොවන බව බුද්ධිමත් ආචාර්යවරයාට වැටහිණි.

"මමත් හොඳ බෞධයෙක් තමයි ෂෙල්ටන් මගේ දෙමව්පියොත් මේ රටේ ඉහලම බෞද්ධ පවුල්වල අය අනික බෞද්ධ දර්ශනය ගැන ඉංග්‍රීසියෙන් ලියවුනු පොත් මමත් හුඟක් කියාලවල තියෙනවා. බෞද්ධ භාවනා ක්‍රමත් තරමක් හදාරලා තියෙනවා. දැන් තියෙන්නේ හුඟක් භාවනා ක්‍රම බෞද්ධ මාර්ගයෙන් පිටස්තරයි ෂෙල්ටන්. අද බෞද්ධ භාවනා හැටියට හුඟක් ඉදිරිපත් වෙන්නේ යම් යම් අයගේ පෞද්ගලික අත්දැකීම්. ඒවා ග්‍රහණය කරගන්න එක භයානකයි. කොටින්ම දැන් බෞද්ධ භාවනා ක්‍රම තුලට පවා මිත්‍යාව පිවිසිලා තියෙන්නේ. භාවනාවෙන් සිහිය පිහිටුවා ගන්නවා මිසක් මනසට අයුතු බලපෑම් කරන්න එපා. එයින් අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්."

ෂේල්ටන්ගේ මුහුණට සිනහවක් නැගිණි. "කොහොමද සර් එහෙම වෙන්නේ? අපේ චන්න මහත්තය කරන හපන්කම් ගැන ඇහුවොත් සර් පුදුම වෙයි" යනුවෙන් ෂෙල්ටන් පැවසූ ෂෙල්ටන් භාවනා ක්‍රම මගින් චන්න මහත්තය ඈත අතීතයට ගොස් මෙරට කරවූ රජවරුන් කීහිප දෙනෙකුම හමුවී ඇති ආකාරයත්, අතීතයට පමණක් නොව ඔහු අනාගතයට පවා ගමන් කර ඇති ආකාරයත් ආචාර්යවරයාට පහදා දුන්නේය.

ආචාර්යවරයා ෂේල්ටන්ගේ මුහුණ දෙස සෘජුව බැලීය. මොහු මායාවක පැටලී ඇති බවක් ඔහුට වැටිහිණි. එබැවින් මේ සම්බන්ධයෙන් තමා අවබෝධ කර ගෙන ඇති දෙය ඔහුට අවධාරණය කරවීම සුදුසුයැයි ආචාර්යවරයා ට හැඟිණි. "සමහර විට ඒ මහත්තයා කියපු දෙයක් ඔයාට නොතේරුනා වෙන්න පුළුවන්. ෂෙල්ටන්, ඕක අතීතයට යාමක් නෙමයි. ඕක මායාත්මක අත්දැකීමක්, ඉංග්‍රීසියෙන් ඕකට කියන්නේ Illusion කියල. සිත අනවශ්‍ය විදියට තදින් අරමුණුගත කළාම විවිධ රුප මතුවෙනවා තමයි. නමුත් ඒක බුදුදහමේ එන චිත්ත විසුද්ධියට කොහොමත්ම එකඟ නැහැ. නමුත් සාමාන්‍ය මිනිස්සු හිතන්නේ සෝවාන් වුණා, සකෘදාගාමී වුණා කියලයි. නොදන්නා මිනිස්සු එකෙන් නොමග යනවා. එත් මතක තියාගන්න බුදු හාමුදුරුවෝ ඕවා තරයේම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න හැටි වෙනම පැහැදිලි කරලා දීල තියෙනවා ඒක පියවරෙන් පියවර කල යුතු දෙයක්!"

ෂේල්ටන්ගේ සිතට විමතියක් දැනිණ. එහෙත් ඔහු ආචාර්යවරයාගේ මතයට එකඟ නොවිණි.

"එත් සර් බුදු දහමේ ධ්‍යාන වගේ දේවල් උගන්වනවා නේද? ධ්‍යාන මගින් ඇයි බැරි අතීතයට යන්න? භූතාත්ම වගේ සියුම් ආත්ම හමු වෙන්න..." ෂෙල්ටන් අතුරු ප්‍රශ්නයක් නැගිය.

"විදර්ශනා භාවනාවේදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලක්ෂණය නුවනින් නොදැක සිත් යම් යම් අරමුණු ඔස්සේ ගමන් කරන්න එපා කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කළේ. ඔය වගේ භාහිර අරමුණු වලට යොමු නොවී චිත්ත විසුද්ධිය සොයා ගන්නයි බුදුහාමුදුරුවෝ අවවාද කළේ. නමුත් අද අපේ හුඟක් දෙනෙක් කරන්නෙම අනිත් දේ."

ෂේල්ටන්ගේ සිතට සියුම් නොරිස්සුම් සහගත හැඟීමක් පිවිසුණි. "සර් කියන්න මොනවාද කියල මට හිත ගන්න පුළුවන්. ඒ වගේම මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන් සර්. මේ ටක කාලෙට මං විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කළා. මගේ සිත කයින් වෙන්වෙලා පදාර්ථයක් කරා මව යොමුවන බව මට හොඳින්ම තේරුනා. සමහර විට සර්ට ඒ අත්දැකීම නැතුව ඇති එකයි ඔය."

"ළමයා, මට අද උදෙත් හම්බවුණා භජන් ගායනා වලට සහභාගී වෙන්න යන මං දන්නා කියන බෞද්ධයෙක්. ඕකත් අමුතු දෙයක් නෙමේ. එයා කියන්නේ භජන් කීමෙන් ඔය තත්වේ ලබන්න පුළුවන් කියලා. නමුත් එයා දන්නේ නැහැ ඕක මායාවක් බව. ඔය තත්වය මනෝ බ්‍රාන්තියක්. කිසියම් රිද්මයකට මනස සම්පුර්ණයෙන්ම අවනත කර ගත්තම ඒ ඔස්සේ ඒ තැනැත්තා බ්‍රාන්තියට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනස විකෘතිභාවයන්ට පත් වෙනවා. දිගින් දිගටම එහෙම වුනාම ඒ තැනැත්තා උන්මත්තකයෙකු බවට පත් වෙන්න්න පුළුවන්."

ෂේල්ටන්ගේ සිතට කෝපයක් පිවිසියද ආචාර්යවරයා ඉදිරියේ එය එළි දැක්වීම අසීරු විණි. "සර් කොහොමද ඒක ඔප්පු කරන්නේ?" යනුවෙන් ඔහු නොරිස්සුම් සහගතව ඇසීය.

"මං ඕවා ගැන දිගින් දිගට හදාරලා තියෙනවා ෂෙල්ටන්. ඔය කියන මනෝ බ්‍රාන්තිය එල්. එස්. ඩී., මරිජුවානා, හෙරොයින් වගේ නිද්‍රාජනක මත්ද්‍රව්‍ය තුලිනුත් ඒ විදියටම ඇති වෙනවා. භජන් කිව්වත් එකයි, ඔය කියන මත්ද්‍රව්‍ය ගත්තත් එකයි. භාවනාව කිය කියා සිත අනිසි විදිය ඒක ඒක අරමුණු වල රඳවා තැබුවත් එකයි. ඔය ළමයට තේරුනාද? ඒ හින්දා සිත වුවමනාවට වඩා ඒක පැත්තකට යවන්න එපා.ආගම් පිස්සුව (Religiomania) කියන තත්වය ඇති වෙන්නත් පුළුවන්. එකෙන් වෙන්නේ ප්‍රඥාව වැඩි දියුණු වීම නෙමේ ආගමේ වහලෙකු වීම විතරයි.

"බුද්ධ දේශනා වලට නේද සර් මේ ගරහන්නේ?" ෂෙල්ටන් කෝපය නිසාම ඉවත බලාගෙනම විමසිය.

"කීයටවත් එහෙම හිතන්න එපා. බුදු හාමුදුරුවෝ චිත්ත විසුද්ධිය ලබන්න කිව්වේ ප්‍රඥාව දියුණු වෙන බෞද්ධ භාවනා මාර්ගය ඔස්සේ. ඔලුව නරක් කරගෙන අතීතයට අනාගතයට රවුම් ගහන භාවනා ක්‍රම බුදුහාමුදුරුවෝ අනුමත කරලා නෑ. සිත පිලිබඳ බුදුහාමුදුරුවෝ කරන විග්‍රහය සිංහල පොත්වල ලියවෙලා නැහැ ෂෙල්ටන්. නමුත් හරියට ඉංග්‍රීසියෙන් ඕනේ තරම් ලියවිලා තියෙනවා. මුලින් හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඊට පස්සේ ඔය පොත් කියවන්න." කෝපයකින් නොවුවත් තරමක දැඩි හඬකින් ආචාර්යවරයා පැවසීය.

"ඔය කියන පොත් ඇයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ? සුද්දෝ බුද්ධාගම අදහන්නේ නැනේ?" ෂෙල්ටන් ඇසුවේ කුතුහලයෙනි.

"ඒ මිනිස්සු බුද්ධාගම ඇදහුවේ නැති උනාට ඔය යුරෝපා රටවල ශ්‍රේෂ්ඨ උගත්තු බුද්ධාගම පිලිබඳ ගැඹුරු හැදෑරීම කරලා ඒ ගැන පොත්පත් ලියලා තියෙනවා. එත් අපේ මිනිස්සු අදත් හොයන්නේ මානොකායයි පුනර්භවයයි ගැන විතරයි. බුදුදහමේ මූලික හරය බෞද්ධයෝ වන අපට වඩා හොඳින්ම වටහා ගෙන තියෙනව ඒ අබෞධයෝ. ඒ නිසා වහාම ඔය වැඩේ නතර කරලා නිවැරදි බුදු දහම හදාරලා පිරිසිදු බෞද්ධයෙක් වෙන්න."

ෂෙල්ටන් ආචාර්යවරයාගෙන් සමුගත්තේ නොපහන් හැඟීමෙන් යුතුවය. ඔහු කී එකම වදනක්වත්, පිළිගන්නට තරම් ෂේල්ටන්ගේ හිත නොනැවිණි.

දහහතරවන කොටස

ෂේල්ටන්ගේ වැඩිමල් සොහොයුරු ස්ටීවන් හදිසියේම රෝගාතුර විය. නොනවත්වාම යන්නට වූ වමනයත් උදරයේ පැත්තක වේදනාවත් හේතුවෙන් ඔහු නතර වී සිටියේ ගාල්ලේ නිවසේ සිටි හිතවතුන් පවා මහත් බියට පත්ව තිබිණි. ඊට හේතුව එම රෝග ලක්ෂණ සහිත අසල්වැසියෙකු කලකට පෙර හදිස්සියේ මිය යාමය. මේ අනුව වහාම ස්ටිවන්ව කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබීය.

වෛද්‍යවරුන්ගේ අනුමානය වුයේ ස්ටිවන්ට ඇපැන්ඩිසයිටිස් රෝගය වැළඳී ඇති බවය. වහාම ඔහුව සැත්කමකට භාජනය කෙරින. එහෙත් වෛද්‍යවරුන් නොසිතු පරිදි විශාල රුධිර ප්‍රමාණයක් ස්ටීවන් සැත්කම් තුවාලයෙන් වහනය වූ අතර පුරා දින දෙකක් ගත වන තුරුත් ඔහුට ප්‍රකෘති සිහිය ලැබුනේ නැත.

මේ කිසිවක් ෂේල්ටන්ට දැනගන්නට ලැබුනේ නැත. ඔහු ඒ වන විට සිය මහගෙදර සමග පවතී සියළු සබදතාවලින් පවා ඈත් වී තනිකරම චන්න මහත්තයාගේ භාවනා කටයුතුවලට සම්බන්ධව වී සිටියේය. මේ හේතුව මතින් ෂෙල්ටන් පිලිබඳ තොරතුරුද නිවසේ අයට දැනගන්නට හැකි වුයේ නැත.

කෙසේ හෝ සැත්කමින් පසු ස්ටීවන් වලස්මුල්ලට එක්කරගෙන ගොස් තිබිණ. එහෙත් ඔහුට මුළුමනින්ම සුවයක් ලැබී නැති බව දින දෙකක් ගත වෙන්නටත් මත්තෙන්ම පැහැදිලි විය. මෙවර ඔහු වෙතින් පළ වුයේ කලින් මතුවූ රෝග ලක්ෂණ නොවේ. වැඩි වී හිඳ නැගිටින විටත්, වැඩි වෙලාවක් කතා කරමින් සිටියත් යන්තම් ගැස්සිමක් ඇතිවුවත් හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙන්නට විය. සමහර විට එම අපහසුව මතින්ම ඔහු කලන්තව අද වැටෙන්නට ගියේ.

"මේක නම් බලා ඉන්න හොඳ දෙයක් නෙමේ" ස්ටීවන්ගේ මව කියද්දී ඔහුගේ පිය නොපමාව ඔහු කොළඹ එක්කරගෙන ආවේය.

වලස්මුල්ලේ සිට අගනුවරට පැමිණි ඔවුන්ට නවතින්න තිබුනේ නාලන්දාරාමයයි. එහි නවාතැන් සඳහා දෙනු ලබන කාමර වලින් එකක බණ්ඩාරනායක මහතාත් තවත් එකක ශේල්ටනුත් ඒ වනවිට නවාතැන් ගෙන සිටියහ. මේ අනුව ස්ටිවන්ව ශේල්ටන්ගේ කාමරයෙහි නතර කරනු ලැබූ අතර ඔහුගේ රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ෂෙල්ටන් එකඟතාවය පළ කර තිබිණ. මෙතෙක් කලක් සිය පියා ඇතුළු සොයුරු සොයුරියන්ගේ දුක සැප බලන්නට හෝ උත්සහ නොදරිම පිළිබඳව දැනුණු පසුතවිල්ලද ශේල්ටන්ගේ සිත් පීඩාවට පත් කරන්නට ඇත. පියා පසුදාම වලස්මුල්ල බලා ගිය අතර ෂෙල්ටන් පෞද්ගලික රෝහලකට ස්ටිවන්ව එක්කරගෙන ගියේය.

දවස් ගණනක් තිස්සේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුටම පෙන්වමින් විවිධ පරීක්ෂණ අරිය කිරීමෙන් පසුව ස්ටිවන්ට ඇපැන්ඩිසයිටිස් රෝගය නොව තිබී ඇත්තේ වෙනත් රෝගයක් බව තහවුරු කර ගත හැකි විය. මේ අනුව ඔහුට කරන ලද සැත්කමද වැරදීමකින් සිදු වුවක් බව පැහැදිලි විණ.

කෙසේ හෝ ස්ටිවන්ට යලිත් සැත්කමක් නොකලද දිගින් දිගටම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය විය. මේ සඳහා වන විය හියදම් සියල්ලක්ම දැරීමට ෂෙල්ටන් කැමැත්තෙන්ම භාර ගත අතර රැකියාවක් නොකරන ඔහුට යන මුදල් කොහෙන්දැයි ගැටලුව ස්ටීවන් තුළ පන නැගුණි. එසේ වුවද ඔහු ඒ පිලිබඳව විමසන්නට ගියේ නැත. අයියා ලොකුතත්තාගෙන් පවා මේ වන විට කිසිදු මුදලක් නොගන්න බව ස්ටිවන්ට පසුව දන ගත හැකි විය. නමුත් ඒ පිළිබඳව සෙවීම හෝ විමසීම ස්ටීවන් ඇතහැර දැමුවේය. මද කලකටන් පසු මුළුමනින්ම සුවය ලැබූ ස්ටීවන් අයියාගෙන් සහ ලොකු තාත්තාගෙන් සමුගෙන යළි ගමට ගියේය.

මෙය 1993 වසරය. ශේල්ටන්ගේ නැගෙණිය මේ වන විටත් සිටියේ හක්මන මිත්තනියගේ සේවනේය. ඇය යළි ගමට එක්කරගෙන ඒමට ෂෙල්ටන් උනන්දු නොවූ අතර ස්ටීවන් ඇතුළු පවුලේ අනෙක් සොහොයුරන්ටද එය කල නොහැකි වී තිබිණ. පියාට සිය වැඩිමහල් දියණිය දැක ගන්නට අසීමිත වුවමනාවක් පැවතියත්, ඒ වෙනුවෙන් ඔහුට කල දෙයක් නොතිබිණ. විශේෂයෙන්ම තමා දෙවනවරටත් විවාහ වීම මතින් හක්මන විසු තම පළමු බිරිඳගේ මව බෙහෙවින් අමනාපව සිටින බව ඔහු දනී. මේ අනුව ජීවත්වීම හැර ඔහුට වෙන කරන්න දෙයක් තිබුනේ නැත.

මේ වන විට විසිහතර වෙනි වියේ පමණ පසු වූ ප්‍රදිපාට විවාහයක් කර දීමට සුදුසු කාලය එළැඹ ඇති බව ෂේල්ටන්ට හැඟිණ. ඒ අනුව ඇයට මනලයෙකු සෙවීමද ඔහු විසින්ම කරනු ලැබීය.

වීරකැටියේ ගොනදෙනියේ විසු උත්සහවන්ත තරුණයෙකු ගැන ෂෙල්ටන්ට දැන ගන්න ලැබුනේ මේ අතරේ දීය. ගොවිතැන්බත් කරගෙන ජිවත්වන්නෙකු වුවද තමාගේම ට්‍රක්ටරයක්ද හිමි ඔහුට මිල මුදලින් අඩුපාඩුවක් නොතිබිණි. මේ තරුණයා ප්‍රදිපාට යෝජනා කරන ලද අතර අවසානයේ දෙපාර්ශවයෙන්ම ඒ සඳහා කැමැත්ත පළ විය. එසේම නංගී වෙනුවෙන් කිසියම් දායාදයක් ලබා දීමට ෂේල්ටන්ට වුවමනාවක් තිබිණි. එය පියා විසින් කල යුතුකමක් සේ සලකු ෂෙල්ටන් නංගිට දායාදයක් සුදානම් කරන ලෙස පියාට දන්වා යැවීය.

පහළොස්වන කොටස

සිය සොයුරිය විවාහ කර දෙන්නට ලැබීම ෂේල්ටන්ගේ සිතට සැහැල්ලුවක් දැනවීමට සමත් විනි. ඇයට දායාද වශයෙන් වැඩියමක් රැගෙන දීමට ඔවුන්ගේ පියාට සවියක් තිබුනේ නැත. සිය පළමු බිරිඳට අයත් කණකර බඩුවලට අමතරව මහන මැෂිමක් සහ තවත් සුළු සුළු දේවල් ලයිනේරිස් සිය වැඩිමහල් දියණිය සඳහා සුදානම් කර දුන්නේය.

තම ජිවිතයේ ඉදිරි කාලය භාවනාව වෙතම යොමුකර සිය අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට ෂෙල්ටන් දැඩිව තීරණය කරගෙන තිබිණි. ඔහුට මේ සම්බන්ධයෙන් පරමාදර්ශී පුද්ගලයෙකු වුයේ චන්න මහත්තයාය. එනිසා නිතර නිතර ඔහු හමුවීම ෂේල්ටන්ගේ ජිවිතයේ එකම සතුට බවට පත්ව තිබිණි.

මේ කාලය වන විට ෂෙල්ටන් තුනටියේ වේදනාවකින් පෙළෙමින් සිටියේය. නාලන්දාරාමයට චන්න මහත්තයා පැමිණි විට සුපුරුදු පරිදි ඔහු හමුවන්නට ගිය ෂෙල්ටන් නිරතුරු ඔහුගෙන් භාවනා සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම පුරුද්දක් කරගෙන තිබිණි. මේ අතර සිය රෝගාබාධය පිළිබඳවත් ඔහුගෙන් යමක් දැනගත හැකිදැයි ෂෙල්ටන් කල්පනා කරන්නට විය.

"ටික දවසක ඉඳන් පොඩි අසනීපයක් තියෙනවා" ෂෙල්ටන් කීවේ කුහුලකින් යුතුවය. චන්න මහත්තයා "පොඩ්ඩක් ඔහොම ඉන්න බලන්න" යි පවසා ෂෙල්ටන්ගේ අතක මැණික් කටුවෙන් අල්ලාගෙන ඔහුගේ නාඩි පරීක්‍ෂා කරන්නට පටන් ගත්තේය.

"කොඳුඇට පෙළේ අමාරුවක්" චන්න මහත්තයා හිස සලමින්ම පැවසිය.

ෂෙල්ටන්ට දැනුන සතුට නිමක් නැත. සිය රෝගය සුව වුනාක් බඳු හැඟීමක් ඔහුට දැනින. චන්න මහත්තයා මෙය අවබෝධ කර ගත්තේ සිය චිත්ත ශක්තියෙන් බව ශේල්ටන්ට විශ්වාසය. තාමත් කෙදිනක හෝ ය යුත්තේ මේ මගමය. කෙසේ වුවද චන්න මහත්තයා රෝගය මිස රෝගයට ප්‍රතිකාර පැවසුවේ නැත.

නාලන්දාරාමය අවට වෙසෙන්නන් බොහෝ දෙනෙකුවද ෂෙල්ටන් හදුනාගෙන සිටියේය. ඒ හැම දෙනෙකුම පහේ ඔහුට හිතවත්ය. ෂෙල්ටන් මෙන්ම බණ්ඩාරනායක මහතාත් කෑම කෑවේ නුදුරින් වූ කඩයකිනි. බොහෝ අවස්ථාවල මේ හිතවතුන් හමුවන්නට ගිය ෂෙල්ටන් ඔවුන් සමග අල්ලාප සල්ලාපයෙහි දීම පුරුද්දක් කර ගත්තේය. මෙබඳු එක් හිතවතෙකුටද කලක සිටම පැවත උදරාබාධයක් විය. චන්න මහත්තයා වෙත මොහුවත් යොමුකර එම රෝගය පිළිබඳව දැන ගැනීමේ කැමැත්තක් ෂෙල්ටන් තුළ හට ගත්තේය. ඊළඟ දිනයෙක චන්න මහත්තයා පැමිණි පසු ෂෙල්ටන් මිතුරා වෙත දිව ගියේ බලවත් නොඉවසිල්ලකිනි.

පරණ වී ඉරී පොඩි වී ගිය ඇඳුමකින් සැරසී එයටම ගැළපෙන ඔලොගුවක ආකාරයේ රෙදි බැගයක්ද උර දරාගෙන, රෙදිපටි වලින් අසීරුවෙන් රඳවාගත් උපැස් යුවලක්ද පැළඳ චන්න මහත්තයා නාලන්දාරාමයේ ධර්ම ශාලාවෙහි කොරිඩොවෙහි බිම වැඩි වී සිටියේය.

මිතුරාගේත් ෂෙල්ටන්ගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලු ඔහු, දෙදෙනාටම වාඩි වන ලෙස හස්ත මුද්‍රාවෙන් දැක්වීය. මිතුරා කිසියම් රෝගයකින් පෙලෙන බව ඒ මොහොතේ ෂෙල්ටන් දන්වා සිටියත් චන්න මහත්තයා සුපුරුදු පරිදි ඔහුගේ අතගෙන නාඩි පරීක්‍ෂා කරන්නට විය.

"උදරාබාධයක් නේද?" චන්න මහත්තයා පවසද්දී ෂෙල්ටන් සහ මිතුරා උනුනුන්ගේ මුහුණ බල ගත්හ. ශේලටන්ගේ මුහුණේ ජයග්‍රාහී සිනාවකුත්, මිතුරාගේ මුහුණේ පුදුමයකුත් ඇඳි තිබිණි.

"මේකට මොකද්ද මහත්මය කරන්න ඕනේ?" මිතුරා චන්න මහත්තයා දෙසට හිස නමා ගෞරව සම්ප්‍රයුක්තව ඇසීය.

"මේක කර්මජ රෝගයක්. වෙන කරන්න දෙයක් නෑ. පුළුවන් තරම් කුසල් කරන්න ලෙඩේ සුව වෙයි." චන්න මහත්තයා කීවේ නිවුණු හඬිනි.

ෂෙල්ටන්ගේ සිතෙහි චන්න මහත්තයා කෙරෙහි තිබු ප්‍රසාදය පමණටම, තමාගේ අරමුණ ඉටු කරගත හැකිය යන විශ්වාසය එන්න එන්නම ඉහල නැංවිණි. භාවනාව මගින් චිත්ත ශක්තිය පුබුදුවාගෙන ඒ ඔස්සේ රෝග හදුනා ගන්නටත් හැකියි ෂෙල්ටන් තදින්ම විශ්වාස කළේය. පිලික වැනි භයානක රෝග සුව කරන ශල්‍ය වෛද්‍යවරුන්, වෙනත් විශේෂඥය වෛද්‍යවරුන් ඔහුගේ මනස හමුවේ මැවී පෙනිණ.

ඔවුන් ඒ තත්වයට එලෙබෙන්නේ වෙහෙස මහන්සි වී ඉගෙන ගැනීම තුලිනි. තමාද යම් දිනෙක ඒ මගටම පැමිණිය යුතුය. ඒ ඉගෙනීමෙන් නොව භාවනාවෙනි. එය හරියටම නිවැරදිව පැවසුවහොත් ශ්‍රීපාදයට යන පොදු ජනප්‍රිය මාර්ගය හැටන් නල්ලතන්නි පාර වුවත්. පලාබද්දල, එරත්න වැනි තවත් බොහෝ අතුරු පාරවල් ඔස්සේ ද ශ්‍රීපාද කන්නද තරණය කිරීම වැනි යැයි ෂෙල්ටන් කල්පනා කළේය. එසේම මින් ඉදිරියට තම ඇඳුම පැළඳුම පවා වෙනස් කර සරම සහ ජාතික බැනියම අන්දිමටත් කිසිදා විවාහ නොවන්නටත් ඔහු තීරණය කළේය. එපමණක් නොව දැනට භවිතා කෙරෙන ෂෙල්ටන් යන නාම තමාට නොගැලපෙතයි සිතු ඔහු එය වෙනස් කල යුතු යැයි තදින්ම ධාරණය කර ගත්තේය.

දහසයවන කොටස

ෂෙල්ටන් යන නම තමන්ගේ සිතැඟි සහ තමා ගමන් ගන්නා මාවතට අනුව කෙසේවත් ගැලපෙන්නේ නැතැයි ඒකමතිකව තීරණය කළ ෂෙල්ටන් තාම නම වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය සියළු කටයුතු සුදානම් කළේය. පසුව ඒ සම්බන්ධයෙන් ඔහු 1994 ජනවාරි 28 "ජනතා" පත්‍රයෙහි පහත දැක්වෙන දැන්වීම පලකොට තිබිණි.

"හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු කණුමුදෙනිය ගමේ පදිංචි රාජපක්ෂගේ ෂෙල්ටන් හෙවත් ෂෙල්ටන් රාජපක්ෂ යන නම්වලින් හැඳින්වුණු මා මෙතැන් සිට සුදර්ශ රාජපක්ෂ යන නම භාවිතා කරන බව මෙයින් දන්වා සිටිමි"

ෂෙල්ටන් සුදර්ශ වුයේ ඉන් අනතුරුවය. නම වෙනස් කරගත්තත් පැහැදිලි දර්ශනයක් ඔහු සතුව තිබුනේ නැත. බුදුරජානන්වහන්සේ හෝ වෙනත් ආගම් ශාස්තෘවරයෙකු විසින් පෙන්වා දුන් මාර්ගයක් ඔස්සේ ඉදිරියට යාම වෙනුවට සුදර්ශ උත්සාහ කලේ තමන් විසින්ම වෙනත් මගක් සොයා ගැනීමය. එය හරියටම නිවැරදිව කිවහොත් පැහැදිලිව පවතින මාර්ගයක් අලුතෙන් තනා ඒ ඔස්සේ යන්නට වෙරදරන්නාක් මෙනි. නමුත් ඒ සඳහා වුව අදිෂ්ඨාන ශක්තිය හැරුණු විට පැහැදිලි චින්තනයක් සුදර්ශ සතුව නොවීය. ඔහුට තිබුනේ චන්න මහත්තයාගෙන් ලද ඉඟි ටිකක් පමණි. භාවනාව ඔස්සේ චිත්ත ශක්තිය පුබුදුවාගෙන ඒ මතින් රෝගීන් සුවපත් කරන්නටත්, අතීතයට හා අනාගතයට ගමන් කරන්නටත් මේ මතින්ම කිසියම් විමුක්ති මාර්ගයක් සොයා ගන්නටත් සුදර්ශගේ මනස යොමුවිය.

මේ වනවිට සුදර්ශ නාලන්දාරමයේම සිටියත් සිය ලොකු තාත්තා වූ බණ්ඩාරනායක මහතා වෙතින් ඈත්ව සිටි අතර ඔහුගෙන් වියදමට මුදල් ගැනීමද නතරකොට තිබිණි. ඔහු ඉගෙනිමද සහමුලින් අතහැර දමා තිබු බැවින් බණ්ඩාරනායක මහතා පසුවූයේ හිත්වේදනාවෙනි. "පවුලේ වැඩිමලා නේද කියල උගන්නලා මනිස්සයෙක් කරන්නයි බැලුවේ. ඌ එතකොට පවුලේ අනිත් උන්ට බලයිනේ කියල මං හිතා හිටියා. මේකා ඒ සේරම කා ගත්තා" යයි බණ්ඩාරනායක මහතා තනිවම ලතවිණි.

"සුදර්ශ සල්ලි ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. මං ඒවා බලාගන්නම්" චන්න මහත්තයා තාම අනුගාමිකයා දිරිමත් කරමින් නිරතුරුවම පැවසීය.

එහෙත් භාහිර ස්වරූපයෙන් යාචකයෙකුට වැඩි වෙනසක් නොතිබූ චන්න මහත්තයාට සල්ලි කොහෙන්දැයි සුදර්ශ නොවිමසුවත් ඔහු ඒ පිළිබඳව නිහඬව කල්පනා කළේය.

"ඇයි සුදර්ශ කල්පනා කරන්නේ? සාමාන්‍යයෙන් මනුස්සයෙකුට ජිවත් වෙන්න මහාලොකු වියදමක් යන්නේ නෑනේ. ඒ කියන්නේ ලක්ෂ තිහ හතලියක් යනවා නම් එක වුනත් මං දෙන්නම්" චන්න මහත්තයා කිසිදු ගණනක් නැතිව අතිශය සාමාන්‍ය ආකාරයෙන් පැවසුවත් සුදර්ශට නම් මෙය අදහාගත නොහැකි විස්මයක් වී තිබිණි.

"ඒ තරම් ලොකු සල්ලියක්! මේ මනුස්සයාට කොහෙන්ද එච්චර සල්ලි?" සුදර්ශ තනිව සිතීය.

එයත් දියුණු කරගත් අධ්‍යාත්මික ශක්තිය තුලින් ගුප්ත ආකාරයට ලබාගත් මුදල් කන්දරාවක් විය යුතුයැයි සුදර්ශ කල්පනා කළේය.

තමන්ගේ පසුබිම කෙසේ වුවද තාම පවුලේ පසුබිම ගැන සලකා බැලුවොත් ඔහුට විශාල මුදල් ප්‍රමාණයක් ලැබේ නම් එය අතිශයින්ම වැදගත් වේ. ඉන් තම පියාට. සුළු මවට සහ සොයුරු සොයුරියන්ට සැලකීමට පුළුවන. නමුත් ඒ පිළිබඳව සිතා වුවද මුදල් පසුපස හඹා යන්නට තරම් සුදර්ශ ගේ සිත නොනැමිණ. ඇත්තෙන්ම මුදල් පිලිබඳ ඔහුට ආශාවක් තිබුණේම නැති තරම්ය. ඔහුගේ ඒකායන පරමාර්ථය වුයේ විමුක්තියක් සොයායාම සහ රෝගීන් සුවපත් කිරීම පමණි.

මේ සඳහා මුලික අඩිතාලමක් දැමීම වශයෙන් මිනිස් වාසයෙන් තොර නිහඬ පදෙසකට ගොස් භාවනාවෙහි යෙදීමට සුදර්ශ කල්පනා කළේය. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට පෙර යෝග්‍ය තැනක් විමසා බැලිය යුතුය. මීට උචිතම ස්ථානය සිරිපා හිමය බව අවසානයේ ඔහු නිගමනයකට එලබුණි. ඊට බලපෑ සුවිශේෂ හේතු දෙකක් විය. එකක් කලකට උඩදී ඔහු හමුවූ හොරණ කුඩා උඩුවේ නාරද තුමාය. දොළොස්වසරක් තිස්සේ සිරිපා හිමයේ බැදන් සමනොළ කඳු වැටියෙහි භාවනානුයෝගිව වැඩහුන් නාරද තුමා ඒ මතින් කිසියම් චිත්ත බලයක් උපදවා ගත්තෙකු වශයෙන් සුදර්ශ කල්පනා කර තිබිණි. අනෙක් හේතුව වුයේ සමනලගිරි වෙදකමෙහි නියුතු සරත් අඹතලාව වෙදමහතා මේ හිමය පිලිබඳ වරින් වර පවසා තිබූ අද්භූත කතාය. තමන්ගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමට සුදුසුම ස්ථානය සිරිපා හිමය යැයි අවසන් නිගමනයකට එළැඹි සුදර්ශ දිනක් කිසිවෙකුටත් නොදන්වාම ඇඳුම් කිහිපයක් ඇතුළු අත්‍යවශ්‍යම දේවල් ද බැගයකට දමාගෙන අවාරයේම සිරිපා හිමය තරණය කිරීමේ අදිටනින් තනිවම නික්මුණි.

සුදර්ශගේ අරමුණ වුයේ රත්නපුර පලාබද්දල මාර්ගයෙන් යාමයි. ඒ නිසා රත්නපුරට පැමිණ එතනින් ඔහු සිරිපාගම දක්වා දිවෙන බසයකට නැග ගත්තේය. පයකට වැඩි කාලයක් තිස්සේ ගමනෙහි යෙදුණු බසය සිරිපාගම හන්දියේ නතර කෙරිණ. එහි වූ කුඩා කඩමණ්ඩිය මැදින් වැටීගත් පාරේ සුදර්ශ බෑගයත් උරේ එල්ලාගෙනම සංසුන් ගමනින් ඇවිද යන්නට විය. කුඩා තේවතු, කඳුගැට සහ ඒ අතරමැද වූ නිවෙස්ද ඔහු එකින් එක පසුකරමින් සිටියේය. එය නොදියුණු ගම්පියසක් විය. මින්පෙර කිසිදා නොපැමිණ තිබූ මේ මග සිරිපා හිමය පමුලද යන්නවත් සුදර්ශ දැන සිටියේ නැත. ඔහු තුල අරමුණක් මිස ඉන් එහාට කිසිවක් පිලිබඳ දැනීමක් හෝ වැටහීමක් නොතිබිණි.

දහහත්වන කොටස

ශ්‍රී පාද අඩවියේ සුදර්ශ
භාවනානුයෝගිව සිටි ස්ථානය
වෙත යන ඔහුගේ ඥාති පිරිස
ක්තරා උදැසනක නාඳුනන හඬකින් කිසිවෙක් "අම්මේ" යනුවෙන් ආමන්ත්‍රණය කරනු සිරිපා අඩවියෙහි පලාබද්දල ගමේ වෙසෙන එච්ජින් ඉස්කෝල හාමිනේට ඇසිණි. දොරකඩට පිටුපා යම් වැඩක නිරත වී සිටි ඇය පසුපස හැරී බැලුවාය. ඇය දුටුවේ සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසීගත් පැහැපත් පෙනුමකින් යුතු තරුණයෙකි. උරහි බැගයක්ද එල්ලාගෙන සිටි ඔහු තමා මීට පෙර දැක නොතිබුණද "අම්මේ" යනුවෙන් කල ඇමතුමත් මුහුණේ රැඳී තිබූ සුහදශීලි සිනාවත් මතින් ඔහු කෙරේ එච්ජින් ඉස්කෝලේ හාමිනේගේ සිතේ දයාවක් ඇතිවිය. වසර හතළිහකට වැඩි කාලයක් ගුරුවරියක් වශයෙන් සේවය කර දැනට විශ්‍රාම ගොස් ජිවිතයේ සැන්දෑ සමය පසුකරමින් හිඳින ඇයට නොයෙකුත් තරාතිරම්වල දරුවන් පිළිබඳව විවිධ අත්දැකීම් රාශියක් ඇත. විශේෂයෙන් උපන්දා සිට සිරිපා අඩවියෙහි පලාබද්දල ගමේ විසු ඇයට වන්දනාකරුවන්ගේ එදා සහ අද පවතින වෙනස මැනවින්ම පෙනේ. විශේෂයෙන් වන්දනා කාලයට සිරිපා හිමය තරණය කරන තරුණ පිරිස තුල හික්මීමක් සහ විනයවත් බවක් දැක ගන්නට ඇත්තෙම නැති තරම්ය. එහෙව් කාලයක තමා කාරුණික ස්වරයෙන් "අම්මේ" යනුවෙන් ඇමතූ මේ නන්නාදුනන තරුණයා කවුද?

"මේ පුතා කවුද?" එච්ජින් ඉස්කෝල හාමිනේ ආදරණිය හඬකින් විමසුවාය.

"මං සුදර්ශ කියල කෙනෙක් අම්මේ. හිමේ භාවනා කරන්න හොඳ තැනක් හොයනවා. මං අහලා තියෙනවා බෑන සමනොළ කුණුදිය පර්වතේ එහෙම ඒවගේ භාවනා කරන්න සුදුසු තැන තියෙනවා කියල."

එච්ජින් ඉස්කෝල හාමිනේට දැනුනේ තමා ඉහලට ගත් හුස්ම පහලට ගැනීමටත් අමතක වූ නියාවකි. උපන්දා සිටම මෙහි ජිවත් වන ඇයට සිරිපා හිමය ගැන අමුතුවෙන් දැනගැනීමට දෙයක් නොමැති තරම්ය. එහි සමහර කාලවලට නිරතුරුව පවත්නා සුළං කෝඩ වැහි කුණාටු සාමාන්‍ය මිනිසෙකුට ඔරොත්තු දෙන්නේ නැති තරම්ය. උඩට යන්නට යන්නට වතුරෙහි ඝනත්වය කෙතරම් වැඩිවන්නේද කිවහොත් වැසි බිංදුවක් සිරුර මතට වැටෙන විටත් එතැන රිදුම් දෙන සුළු බවක් දැනේ. එසේම අලින් මෙන්ම දිවියන් වැනි වනසතුන් ගෙන්ද මෙහි අඩුවක් නැත. එවන් තත්වයක් යටතේ මෙවන් තරුණයෙකු කෙසේ සිරිපා හිමයට යන්නද?

"අපොයි පුතේ ඔය හිතන තරම් ලේසි නෑ මේ අවාරේ කන්ද නගින එක. අනික ඔච්චර ගියේ නැති වුනාට මේ බලවන ඇඳිරි කැලේ වගේ දිහාකට ගියා නම් භාවනා කරන්න හොඳ තැන් තියෙනවනේ."

"නෑ අම්මා මං මේ ගමන ආවේ ලොකු අධිෂ්ටානයකින්. ඒ නිසා මං යන්න ආ ගමන යන්නම ඕනේ."


එච්ජින් ගුරු මහත්මිය
මේ තරුණයාගේ මතුපිටින් පෙනෙන ලාමක බව අභ්‍යන්තරයෙහි නොමැති බව එච්ජින් ඉස්කෝලේ හාමිනේට වැටහිණි. ඔහු සිත දැඩි බැවින් යුක්තය. අධිෂ්ඨානයද නොසැලෙන සුළු බව පෙනේ.

තමාගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන බී පිටත් වන්නට සුදානම් වූ ඔහුට ගෙන යන්නට දෙන්නේ කුමක් දැයි කල්පනා කරද්දී ඊයේ හැන්දෑවේ සෑදූ අග්ගලා තවත් ඉතිරි වී ඇති බවට ඇයට සිහිපත් විය. ඇය අග්ගලා පාර්සලයක් බැඳ සුදර්ශ අත තබා ඔහුට සමන් දෙවියන්ගේ අශීර්වාදයද පැතුවාය.

කාලය අනුව බැලුවොත් මේ වන විට වසර ගණනක් ගතවී ගොසිනි. සුදර්ෂ්ගේ සුළු මවද මීට වසර ගණනකට පෙර හදිස්සියේ මිය ගොස් සිටියාය. ඇය මිය ගියේ නිකන්ම් නොවේ, සිය දිවි නසා ගැනීම තුලිනි. සුදර්ශගේ මව ගිනි තබා ගෙන සියදිවි නසා ගත් අතර සුළු මව වස බී දිවි නසා ගත්තාය. සුළු මව එසේ දිවි නසා ගැනීමට බලපෑවේ රන්මාලයකි. මගුල් ගෙදරකට පැළඳගෙන යාම් සඳහා වෙනත් කෙනෙකුගෙන් ඉල්ලා ගත් මාලයක් සොරුන් විසින් කඩාගෙන යාම නිසා ඇතිවූ හිත වේදනාව මත ඇය වස බී ජීවිතය තොර කර ගත්තාය.

වසර ගණනක් මෙසේ ගත වෙද්දී සුදර්ශගේ ජීවිතයත් නවතම මගකට යොමුව තිබිණ. ඔහු සිරිපා හිමයට භාවනා කිරීම සඳහා නික්ම ගියේ බොහෝ කලක පටන් ඔහුගේ සිතේ පවතී අපේක්ෂාවක් මුදුන් පත් කර ගැනීමක් වශයෙනි.

කෙසේ වුවද එදා තමාගෙන් සමුගෙන සිරිපා හිමයට යන බව පවසා පිටත් වූ තරුණයා නැවත ආපසු යනු එච්ජින් ඉස්කෝලේ හාමිනේ දුටුවේ නැත. ඔහුට කුමක් වන්නට ඇතිදැයි ඇය මහත් විස්සෝපයෙන් යුතුව සිතන්නට වුවාය.


වාද්දුව ප්‍රදේශයේ සිරි ගැමුණු නමින් එකතරා සංවිධානයක් මේ කාලයෙහි ක්‍රියාත්මක විය. විශ්ව පදාර්ථය නම් වූ අධි භෞතික බලවේගයක් මගින් ලොව බොහෝ නියාමයන් වෙනස් කල හැකි බව මේ සිරිගැමුණු සංවිධානයට සම්බන්ධ වුවන්ගේ දැඩි විශ්වාසය වී තිබිණ. ඉතිහාසයේ සිදුවූ කිසිම සිදුවීමක් නැවත එලෙසින්ම සිදුවන්නේ නැත යන්න ලෝක නියාමයකි. එසේම බුදුන් වහන්සේ පවා දේශනා කරන ලද්දේ වරක් සිදු වූ කිසිවක් ඒ අයුරින්ම නැවතත් කිසිවිටෙක සිදු නොවන බවයි. බුදුදහමේ විපරිනාමය යනුවෙන් හඳුන්වන්නේ එයයි. නමුත් සිරි ගැමුණු සංවිධානයට සම්බන්ධ වුවන් දැරූ ආකල්පයන් අනුව ඔවුන් නොදැනුවත්වම බුදුවදන පවා ඔවුන් වෙතින් ප්‍රතික්ෂේප වී තිබිණ. අතීතයේ මෙරට විසු දුටු ගැමුණු රජ දැන් යලිත් මෙරට ඉපදී සිටින බවත් ඔහු සිටින්නේ සිරිපා හිමයට ආසන්නයේ බවත් එම දස මහා යෝධයන් සහ කඩොල් ඇතා පවා යලි බිහිවී ඇති බවත් විශ්වාස කල ඔවුහු අනාගතයේ යම් දිනෙක මොවුන් එක්ව මෙරට දුටුගැමුණු යුගයේ ඇතිවූ ශාසන සහ ආගමික පුනරුදය යලි ඇතිකරන බවත් විශවාස කළහ. ඒ සඳහා මිරිස් ගල් බඳු මැණික් ගල් සිරිපා ප්‍රසේශයෙන් මතුවන බවත් එමගින් යලි මෙරට සෞභාග්‍යමත් වන බවත් සිරිලක නව දුටුගැමුණු පාලනය තුලින් එක්සේසත් වන බවත් ඔවුහු තරයේ විශ්වාස කළහ. ඔවුන් එම කරුණු දැනගෙන ඇත්තේ කිසියම් වශිකරන ඇනවුම මාධ්‍යයකිනි. චිත්ත බලයෙන් අහසින් යාම, චිත්ත බලයෙන් අතීතයට සහ අනාගතයට යාම, අවකාශයේ දී අතීතයේ විසුවන් සහ අනාගතයේ බිහිවන්නන් හමුවීම වැනි විවිධ දේවල් සිදු කල හැකි බවද විශ්වාස කළහ. මෙම සිරි ගැමුණු සංවිධානයට චන්න මහත්තයාද සම්බන්ධ වී සිටි අතර ඒ අනුව සුදර්ශ ද එහි සාමාජිකයෙක් විය. සිරිපා හිමයෙහි යම් දුරක් ගිය ඔහු එහිසිට ආපසු විත් මීළඟට චන්න මහත්තයා සමග වාද්දුවට පැමිණ තිබිණ.

දහඅටවන කොටස

දාර්ශනික සිරි ගැමුණු නමින්, හැඳින්වුණු වාද්දුවේ ක්‍රියාත්මක වූ මෙම සංවිධානය බුදු දහමට අනුකූල වුවක් නොව, බුදු දහම් ඇසුරෙහි වැදුණු මිත්‍යා සම්ප්‍රදායන් ගොන්නකින් සැදුම් ලත් එකක් විය. ඔවුහු බොහෝ විට බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමියන් සිය ජිවිතයේ අවසන් භාගයේදී පළකළ පොත්පත් වල අඩංගු වූ භාරතයේ නදී වක්‍යම්, කතරගම දෙවියන් සියැසින් දැකීම වැනි දේවල් මෙන්ම ශරීරයෙන් වෙන්වුණු සිත අවකාශ ගත වී යාම නැතහොත් ශරීරයෙන් ද්විතියික ශරීරයක් ලෙසින් පිටවීම වැනි දෑ තමන් හට අභිමත අර්ථකථන දෙමින් පිළිගත්හ.

එසේම බු. ව. 2500 දී බුද්ධාගම නගා සිටුවීම සඳහා මෙලොව පහල වීමට නියමිතව සිටියේ යැයි කියනු ලැබූ දියසේන කුමාරයා පිලිබඳ සංකල්පය ද ඔවුන් තදින්ම විශ්වාස කල අතර ගෙවී ගිය බු. ව. 2500 දී (එනම් ක්‍රි. ව. 1956) එවැන්නෙකු පහළ නොවුයෙන් ක්‍රි. ව. 2000 දී ඔහු පහළ වනු ඇතැයි ඔවුහු තදින්ම විශ්වාසය පළ කළහ. එසේම ශ්‍රී පාද අඩවියය ආසන්නයේ මතු අනාගතයේ දුටුගැමුණු රජ පහළව බුදු සසුන සහ රට ජාතිය බේරා ගන්න බවටද ඔවුන් තුල තද බල විශ්වාසයක් පැවතිණි.

මේ අනුව බලන කල තනිකරම මිත්‍යා විශවාස වලින්ම පිරි මිත්‍යා ආකාරයක් ලෙස හැදින්විය හැකි මෙම දාර්ශනික දුටුගැමුණු සංවිධානයට සාමාන්‍ය පුද්ගලයන් සේම ව්‍යාපාරිකයන්, නීතිඥයන්, ආයුර්වේද වෛද්‍යවරියක් ආදී වශයෙන් සමාජයේ පිළිගැනීමට ලක් වූ වෘත්තීන් හි යෙදෙන කිහිප දෙනෙකුම සම්බන්ධ වී සිටියහ.

ඔවුන් යමක් පිලිබඳ තීරණ ගැනීමේදී චිත්තයන් විමසීම යනුවෙන් අනුගමනය කරන එක්තරා පිළිවෙතක් තිබිණි. මෙහිදී සිදුවන්නේ අදාල තීරණ ගැනීමට ප්‍රථම තම යටි සිතට එබී බැලීමකි. නුතන මනෝ විද්‍යාවේ සරල සිධාන්තයක් වන මෙයින් සිදු වන්නේ ස්වයං මෝහනයක් තුලින් යටි සිතට එබී බලා තීරණ ගැනීමයි. නමුත් මෙහි සත්‍ය තාවයක් නැත. එසේ වුවද ඔවුහු මේ ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර කිරීමට පවා පෙළඹී සිටියහ. සංවිධානයේ කාගේ හෝ පවුලේ කෙනෙකු අසනීප වූ විට මෙම යල්පැන ගිය සරල මනෝ විද්‍යාත්මක සිද්ධාන්තය උපයෝගී කර ගනිමින් බෙහෙත් නියම කරන ඔවුන් ප්‍රතිකාර සඳහා කොහොඹ කොළ යුෂ බිමට දීම වැනි ක්‍රමද අනුගමනය කල බව පෙනේ.

චන්න මහත්තය සහ සුදර්ශත් අහම්බෙන් ගොස් සම්න්ධ වී තිබුනේ මෙවැනි මිත්‍යා ආකල්ප වලින්ම පිරි සංවිධානයකටය. එහෙත් හිමාලයේ ගොස් බවුන් වැඩු බවට තමන් විසින්ම කියා පාමින් සිටි චන්න මහත්තයාත් විමුක්තිය සොයමින් හිතුවක්කාර ගමනක යෙදී සිට ඒ පිළිබඳව කිසිදු වැටහීමක් නොතිබූ සුදර්ශටත් මෙය පෙනුනේ ජීවමාන සෘෂිවරුන් වැඩසිටින සංවිධානයක් ලෙසිනි. ඔවුන්ට ඒ පිලිබඳ කිසිදු සැකයක් හෝ අවිශ්වාසයක් නොතිබුණු අතර සංවිධානයේ සියලුම ආකල්ප ඔවුහු හිස් මුදුනෙන් පිළිගත්හ. එහෙත් සාමාජිකයන් එකිනෙකාගේ අදහස් සමහර විට පරස්පර විරෝධී බවක් දැක්වූ අතර මෙය දිවයිනේ කිසිදු ආකාරයකින් ලියාපදිංචි සංවිධානයක් ද නොවීය. එසේම ඔවුන්ගේ මේ අදහස් හා ක්‍රියාවලින් අනුව එය බොහෝ විට මයා රෝග තත්වයන්ට මුල්වන සංසිද්ධින්ගෙන් යුතු ක්‍රියාවලියක් බව පැහැදිලි විණි.

මෙසේ කිසියම් අරමුණක් මිස පැහැදිලි මාවතක් නොතිබි අහඹු ලෙස මෙම සංවිධානයට අවතීර්ණ වූ සුදර්ශට ඊට සම්බන්ධව වැඩි දවසක් යන්නට මත්තෙන්ම දර්ශක යනුවෙන් තනතුරක්ද ලැබිණි. සංවිධානයේ ය සිතන්නට ඇත්තේ සුදර්ශ ඉතා පැහැදිලි මාවතක් සහ අරමුණක් ඇති කෙනෙකු වශයෙන් විය යුතුය. සැබවින්ම සුදර්ශ මෙය කිසිසේත් අපේක්ෂා නොකළ තත්වයකි. ඔහු ද විමුක්ති මාර්ගයට එළඹීම සඳහා දර්ශනයක් සොයා යන ගමනේදී සිදු වූ අහඹු ගොඩවැදීමක්  පමණි. එවන් අවස්ථාවකදී ඔහු දර්ශක යන තනතුරකින් පුදනු ලැබුවේ නම් මේ සංවිධානයටත් ඒ වන විට කිසියම් දර්ශනයක් සොයමින් සිටි බව නිසැකව සිතිය හැක.

චන්න මහත්තයා පිළිබඳව තොරතුරු ඇසු ඔවුහු බුද්ධිමතා යනුවෙන් තනතුරක් ඔහු වෙනුවෙන්ම අලුතින් නිර්මාණය කර දුන්හ.

බාහිර ස්වරුපය කෙසේ වුවද දිගු කලක් එංගලන්තයේ ජිවත් වීම, වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකු ලෙස වසර ගණනක් සේවය කොට තිබීම සහ මෙම කරුණු දෙක මතින්ම විසල් තැන්පත් ධනයකට හිමිකම් කීම යන මේවා මේ අලුත් තනතුර සඳහා හේතු පාදක වන්නට ඇත. චන්න මහත්තයා සිරිගැමුණු සංවිධානය පිළිබඳවත් කොතෙක් පැහැදුණේ දැයි කිවහොත් තම පෞද්ගලික ධනයෙන් රු. ලක්ෂ හතලිහක මුදලක් සංවිධානය වෙනුවෙන් ලබා දීමට එකඟ විය. ඒ අනුව සුදර්ශ හා සංවිධානයේ තවත් කෙනෙකු නමින් හවුල් ගිණුමක් වශයෙන් එය බැංකුවේ තැන්පත් කෙරිණි.

අවසාන කොටස

මාට එතාක් හිතවත්ව සිටි සියළු දෙනාවම හමුවී නැවත සිරිපා හිමය කරා යන්නට සුදර්ශ තීරණය කරන ලද්දේ ඇයි දැයි යන්න සමහරවිට දැන නොසිටින්නට ඇත. කෙසේ නමුත් තදබල ලෙස රෝගාතුරව සිටි ඔහු හිතවතුන්ගේ අවවාද පවා නොතකා මේ ගමන පිටත් වුයේ භාවනා තුලින් කිනම් හෝ ධ්‍යානයක් ලබාම මිස නැවත නොඑමැයි යන තදබල අධිෂ්ඨානයෙන් විය යුතුය. එයට එරෙහිව නැගෙන්නා වූ තම රෝග තත්වයන් චිත්ත බලයෙන් සුවපත් කර ගැනීමේ අභිලාෂය ඔහු තුල තිබෙන්නට ඇත.

1998 ඔක්තෝබර් 8 දා ඇඳිරි වැටී ගෙන එන යාමයේ සුදර්ශ, පලාබද්දල ගමේ ඔහු මවක මෙන් ප්‍රිය කල වැඩිහිටි කාන්තාවක වූ එච්ජින් ඉස්කෝලේ නෝනගේ ගෙදරට සේන්දු විය.

අම්මේ... අම්මේ... ගේ දොරකඩ වූ පඩි පෙළ මත හිඳ කිසියම් කෙනෙකු මෙලෙස කතා කරනු ඇසී එච්ජින් ඉස්කෝලේ නෝනා ගෙතුළ සිට එබී බැලුවාය.

ආ... මේ සුදර්ශ පුතානේ... අද මේ හැන්දෑ වෙලා මොකද මේ පැත්තේ? හිමෙටවත් යන්න හිතුවද?

ඇය ඇසුවේ සැකමුසුවය. ඇය සුදර්ශගේ හැටි යම් පමණකට දනී. ඔහු අවිහිංසකය, මෘදුය, එමෙන්ම හිතුවක්කාරය. කිසිවෙකුගේ කීමට අවනත වීම ඔහුගේ සිරිත නොවේ. කිසියම් ආකාරයකින් ඔහු මේ හැන්දෑ යාමයේ හිමය තරණය කිරීමට ගියහොත් එය කිසිසේත් හිතකර දෙයක් වන්නේ නැත. එදින උදයේ සිටම හිමයට එකකරවම මහා වැසි ඇද හැලුණි. සිරිපා හිමයේ සිට කිරි පැහැයක් නංවමින් වේගයෙන් පහලට ඇදෙන වතුර ගොබය හරියටම දිස්වන්නේ කුරිරු වෙසින් ඇදෙන යෝධ සර්පයන් බඳුවය. තදබල වැසි නිසාම සිරිපා හිමයේ නිරතුරුවම පවතින තද ශීතල ස්වභාවය දැන් ඊට වැඩ කිහිප ගුණයකින් ඉහල නැග ඇතිබව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවන් තත්වයක් යටතේ සුදර්ශ යම් හෙයකින් එදින සිරිපා හිමය බලා පිටත් වුණහොත් එය අතිශයින්ම අවදානම් එමෙන්ම අනුවණකාරී ක්‍රියාවකි. එච්ජින් ඉස්කෝලේ හාමිනේ සුදර්ශ දුටු ගමන් කල්පනා කරන්නට වුයේ ඒ ගැනය.

"මං හිමෙට යන්න කලින් අම්මටත් කියල යන්න අවා" සුදර්ශ සුපුරුදු ශාන්ත ස්වරයෙන්ම පැවසීය.

"හිමේ යන්න ?" එච්ජින් ඉස්කෝලේ හාමිනේ මහත් විමතියෙන් යුතුව විමසුවාය.

"ඔව් මං දැන් පිටත් වෙන්න ඕනි"


"මේ දැන් ? හැබෑටම පිස්සුද ඔය ළමයට?" සුදර්ශ වළකාලන්නට එච්ජින් ඉස්කෝලේ හාමිනේ දුන් අවවාද අනුශාසනා ප්‍රමාණවත් නොවීය. ඔහු ඒ වනවිටත් නතර නොවී පවතී පොද වැස්සේම හිසට කිසිදු ආවරණයක් හෝ නැතිවම මහා වන්ගහණයෙන් වැසිගත ශ්‍රීපාද මාර්ගයට නික්මුණි. ඉන්පසුව සුදර්ශ කල කී දේවල් දැනසිටියේ ගිරිදුර්ග වලින් වැසීගත් උමතු කාලගුණික විපර්යාසයන්ගෙන් පිරිපුන් තද ශිතලකින් වැසී තිබූ එම වනගහනය පමණි.

 
ශ්‍රීපාදස්ථානයේ මුරකරු තිස්ස කුමාර
ඔක්තෝබර් 10 දා උදාවිය. සිරිපා මළුවේ මුරකරු වන තිස්ස කුමාර තම කුටියේ සිට එදින උදයේ හැරමිටිපානේ අම්බලම තෙක් එන්නට කන්ද බසිමින් සිටියේය. සුළං කපොල්ලට මදක් පහලින් කවුදෝ අමුතු ඉරියව්වකට නිදා හිඳින අයුරක් තිස්ස කුමාරට පෙනිණ. එලෙස වැතිර සිටියේ සුදර්ශය.. නිකන්ම නොවේ. ප්‍රාණය නිරුද්ධ සිරුරෙන් යුතුවය.

වර්තමාන විපරිත සමාජ තලයේ සිට සත්‍ය සොයා වැරදි මගින් ඉරණම ගමනක් ගිය සුදර්ශ සිරිපා මළුව යම් පමණකට පෙනෙනතෙක් මානයේ මෙසේ අප්‍රාණික සිරුරින් යුතුව ජිවිතයෙන් සමුගෙන තිබිණ. ඔහුගේ එම ගමන එතනින් නිමාවට පත්විය.

වලස්මුල්ලේ පවතී ශේල්ටන්ගේ අවමගුලට සහභාගී වී සිටි පිරිස අතර නෑදෑයන් සහ අසල්වැසියන් තරමටම භාහිරින් පැමිණි පිටස්තර පුද්ගයන්ද වුහ. ඔහු සමාජයේ විවිධ තරාතිරම්වල අය හා සබඳතා පවත්වා තිබූ බව මින් පැහැදිලි විණි. ඉන් සමහර කොටසක් තවත් කොටසක්ව දැන හදුනාගෙන සිටියේ නැත. මේ පිරිස අතර බෞද්ධ සංවිධාන කිහිපයක සාමාජිකයන්ද සිටිනු දක්නට ලැබිණි. මෙහිදී ඔවුන්ගෙන් වැඩි පිරිසක් ෂෙල්ටන් දැනසිටියේ සුදර්ශ නමිනි. ඔහු මීට කලකට ඉහතදී තම ෂෙල්ටන් යන නම සුදර්ශ වශයෙන් නිත්‍යානුකුලව වෙනස් කරගෙන ඇති බව ඔහුගේ සමීපතයින් පවා දැනගත්තේ ඒ මොහොතේදීය. සමහරකුගේ මතය වුයේ මෙම සුදර්ශ පෙරුම්පුරන බෝධිසත්වයෙකු විය හැකි බවය. එසේම මොහු චිත්ත බලය මතින් යම් යම් ශක්තීන් ඇතිකරගත් අයෙකු වශයෙන් තවත් කෙනෙක් අදහස් දැකුවුහ. කෙසේ වුවද හිමාල වනයෙහි භාවනාවෙහි යෙදුනු එකතරා භාවනායෝගියෙකු වෙතින් භාවනාව ඇතුළු තවත් යම් යම් හැකියාවන් ප්‍රගුණ කල අයෙකු වශයෙන් සුදර්ශ පිළිබඳව බොහෝ දෙනෙක් දැන සිටියහ. අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් වෙතින් භාවනා සම්බන්ධ උපදෙස් ලත් අයෙකු වශයෙන්ද සුදර්ශ පිළිබඳව තව කෙනෙකු අදහස් පළකොට තිබිණි. යම් යම් රෝග සඳහා චිත්ත බලයෙන් ඖෂධ නියම කිරීමේ හැකියාවක්ද මෙම මියගිය තරුණයා සතුව පැවතිබව හෙළි විය. මින් දහසක කිහිපයකට ප්‍රථම මෙරට සිටි කීර්තිමත් සංඝ පීතෘවරයෙකු වුව පුජ්‍ය මිගෙට්ටු වත්තේ ගුනාන්ද හිමියන්ගේ ආත්මය හෝ එවන් ශක්තියක් උපයෝගී කරගෙන් රෝග සුව කිරීමේ හැකියාවක් සුදර්ශ තුල තිබූ බව ඔහු පිළිබඳව දත්, ඔහු ලඟින් ඇසුරු කල කිහිප දෙනෙකුම කියා තිබිණ. 

කෙසේ වුවද මියගිය තරුණයා හරියටම කුමන ආකාරයේ පුදගලයෙක්ද යන්න නිවැරදිව හඳුනා ගත් කිසිවෙකු නොවූ බව පළ විණි. සත්‍ය වශයෙන් ඔහු කවුද? යන්නට සෘජු පිළිතුරු වශයෙන් විවිධ මත විවිධ පුද්ගලයන පල කරද්දී නිශ්චිත නිගමනයක් නොමැතිව සුදර්ශ සිය අවසන් ගමන් ගොස් තිබිණි.

ශ්‍රීපා හිමයේ අප්‍රකටව බවුන් වඩන යෝගාවචරයන් සිටින බවට අදටත් සමහරු විශ්වාස කරති. නමුත් ඒ පිළිබඳව පැහැදිලි තොරතුරක් දැක්වීමට අසීරුය. එසේ වුවද වරින් වර හිමයට් ගොස් බවුන් වදන පුද්ගයන් කලින් කලට දැකීමට පුළුවන. මේ අතරින් සුදර්ශ විශේෂ කෙනෙක් වශයෙන් දැක්විය හැක. මෙලෙස අකල් වියෝවකින් සදහටම මෙලොව හැර ගියද ඔහු මේ ගිය ගමන නිශ්චිත අරමුණක් අති එකක් වශයෙන් ඒ පිළිබඳව කතා බස් කල බොහෝ දෙනෙක් අදහස් දක්වූහ.

මේ කාලය වන විට සිරිගැමුණු සංවිධානයද විසිර ගොස් පැවතියේය. සුදර්ශ මහත් ඉහලින් පිළිගෙන තිබූ චන්න මහත්තයා ද මේ වනවිට ජිවතුන් අතරින් සමුගෙන ගොස තිබිණි. උගතෙක් හා ධනවතෙකු වුද චන්න මහත්තයා සුදර්ශට මුණගැසෙන කාලය වනවිට සිටියේ නිරවුල් මනසකින් නොවන බව ඒ වන විට හෙළිවී තිබිණ. ඔහු පැවසූ දේවල් සහ බාහිර ස්වරුපයද එයට සාක්ෂි වශයෙන් පැවතියද සුදර්ශට පවා මුලදී ඒ ගැන වැටහීමක් තිබුනේ නැත. කෙසේ හෝ එංගලන්තයේ පදිංචිව සිටි චන්න මහත්තයාගේ දියණියක ලංකාවට පැමිණ ඔහු බලහත්කාරයෙන් කැටුව ගොස් තිබිණි. ඉන් සෑහෙන කලකට පසුව ඔහු ඒ රටේදීම මිය ගියේය. විසිර පැවති සිරි ගැමුණු සංවිධානයට අයත්ව චන්න මහත්තයා දී තිබූ රු. ලක්ෂ හතළිහකට ආසන්න මුදලද කිසියම් අවිදිමත් ක්‍රමයකට දිය වී යන්නට ඇත. ඒ වනවිට එම මුදල මුල්කොටගෙන සාමාජිකයන් අතර පැවති හොඳ හිතාද බොහෝ දුරට පළුදුවී තිබිණි. වර්තමානයේ ජන සමාජයේ ආගම දහම හා මුසුව බොහෝවිට මතුවන්නේද මිත්යාවමය. බුදු දහම සම්බන්ධයෙන් මෙසේ මිත්‍යාවන් මතුවීමේ සීග්‍ර ප්‍රවනතාවයක් දක්නා ලැබේ. ඒ අනුව යමින් මිත්‍යාව සත්‍ය වශයෙන් වටහාගෙන හිතුවක්කාර මගක් ඔස්සේ විමුක්තිය සොයා ගිය වත්මන් සමාජයේ සුවිශේෂ චරිතයක් වූ ෂෙල්ටන් රාජපක්ෂ හෙවත් සුදර්ශ ඇද අප අතර නැත. ඔහු පිලිබඳ ඇති එකම මතක සැමරුම ලෙස ඉදි කරන ලද කුඩා සොහොන් කොතක් වලස්මුල්ල සුසාන භුමියෙහි අදද පවතියි.


පසු සටහන

මෙම ලිපි මාළාව ඉන්දු පෙරේරා නම් ලේඛිකාව විසින් රැජින පුවත් පතට ලියා කොටස්වශයෙන් පලවුවකින් උපුටා ගැනිණ. එය 1999 මාර්තු 5 වන දින සිට 1999 සැප්තැම්බර් 3 වන දින දක්වා කොටස් විසි හයකින් යුතු ලිපි මාලාවක් ලෙස පලවිය. අවාසනාවකට එහි සියලුම කොටස් මා ළඟ නොමැත. එකල, මෙකල මගේ සිත ඉතා සංවේගයට පත් කල සත්‍ය සිදුවීමක් වශයෙන් මෙය හැදින් විය හැක. මෙවැනිම සත්‍ය සිදුවීමක් සහිත සිනමා සිත්තමක් ගැන මා ලියු බ්ලොග් සටහන වනගත වීම නමින් මෙතනින කියවන්න. මේ පුද්ගලයින් දෙදෙනාගේම සිදුවීම වල යම් සමානතාවයක් ඇතැයි මට හැඟේ. කෙසේ නමුදු අවසාන වශයෙන් කිව හැක්කේ මෙම දෙදෙනාටම ක්‍ෂණ සම්පත්තිය නොලැබීම නිසා අවාසනාවන්ත ලෙස තම වටිනා ජීවිතය අහිමි කරගැනීමක් නොවේද?