දසවන කොටස

හිමාල කඳුවැටියේ දිගු කලක් භාවනානුයෝගිව හුන් අපූරු මිනිසෙකු නාලන්දාරාමයට එන යන බව ඇසීමෙන් ෂෙල්ටන් අසීමිත ප්‍රීති ප්‍රමොදයකට පත් විය. තමාගේ ඒකායන අරමුණ සඵල කර ගැනීමට තිබෙන මාවතෙහි බාධක එකින් එක ඉවත් වෙමින් පවතින බවක් ඔහුට හැගෙන්නට විය. ඔහු මහත් වුවමනාවකින් යුතුව මේ පුද්ගලයා යලි නාලන්දාරාමයට පැමිණෙන තුරු ඉවසිල්ලෙන් පසුවිය. ඔහු පැමිණි දිනෙක කෙසේ හෝ තමාට මුනගස්වන ලෙසද ෂෙල්ටන් එහි පොඩි හාමුදුරුනමකටද පවසා තිබිණ.

එක්තරා අපූරු හවස් යාමයක මේ පුද්ගලයා අහම්බෙන් මෙන් නාලන්දාරාමයට ගොඩවැදී තිබිණි. පොරොන්දු වූ පරිදි පොඩි හාමුදුරුවන් ෂෙල්ටන් සිටි කාමරයට පණිවිඩයක් යවා ඔහු කැඳවිය. ඔහු කල් ඇතිවම දැන සිටි පරිදි හෙතෙම චන්න මහත්තයා නමැත්තෙකි.

ධර්ම ශාලාවේ එක් කොනක වාඩිවී හිඳින වයස්ගත පුද්ගලයෙකු හැරුණු කොට ඒ කියූ මහතා පෙනෙන්නට නැත. දිවි මගෙහි අසරණ වුවෙකු හට බෙහෙවින් සමාන පෙනුමක් ඇති ඔහු හැර මේ කියූ 'චන්න මහත්තයා' කොහේදැයි හෙතෙම විමසිලිමත් විය. ෂෙල්ටන් මහත් කුකුසකින් යුතුව පොඩි හාමුදුරුවන්ගේ මුහුණ බැලුවේ එවන්නෙකු පෙනෙන්නට නොමැති බැවිනි.

"හාමුදුරුවනේ කෝ ඔය මහත්තයා ආවාසේ ඇතුලට ගිහින්ද? නැත්නම් හදිස්සියේ මොකක් හරි වුවමනාවකට ඇවිත් අපහු ගියාද දන්නේ නෑ."

"නෑ ෂෙල්ටන් අර වාඩි වෙලා ඉන්නේ ඒ චන්න මහත්තයා තමයි" පොඩි හාමුදුරුවන් වහා පැවසීය.

"අර බිම වාඩිවෙලා ඉන්න මනුස්සයා? ෂෙල්ටන් හෙමිහිට පවසා ගනිමින් යලිත් ඒ පුද්ගලයා දෙස හොඳ හැටි බැලීය."

ඉදුණු කෙස් ගසින් සහ රැවුලින් යුතු ඔහුගේ කෙස් ගසුත් රැවුල් ගසුත් අපිලිවෙලකට රිසිසේ වැවී ඇත. කිලිටි හා දුර්වර්ණ වූ සරමකිනුත් කමිසයකිනුත් සැරසී සිටි ඔහු එබඳුම කිලිටි දුර්වර්ණ පැහැයෙන් යුතු කහ පැහැති සළුවක් එකී උරයක දරා හිඳියි. කිලිටි වී ගිය ඔලොගුවක්ද එක උරහිසකින් එල්ලා වැටේ. ෂෙල්ටන් ඈතින් හිඳ ඔහුව හොඳින් නිරීක්ෂණය කර යලිත් තේරුම් ගත නොහැකි සැකයෙන් හාමුදුරුවන්ගේ මුහුණ බැලීය.

"හාමුදුරුවනේ ඒ මනුස්සයා ඔය ඉන්න විදිය හරි පුදුමයිනේ. ඔය හිමාලයේ භාවනා කරපු කෙනෙක් කියල මට නම් කීයටවත් හිතන්න බැහැ" ෂෙල්ටන් තමන් තුල ඊළගට නැගුනු සැකය හාමුදුරුවන් ඉදිරියේ තබමින් විමසීය.

"ඒ මහත්තයා භාවනාවෙන් සම්මත ලෝකය ඉක්මවපු කෙනෙක් කියලයි මම නම් හිතන්නේ. එත් බුද්ධ කාලයේ හිටපු රහතන් වහන්සේලා වුනත් කෙලෙස් ප්‍රහින කියල සම්මුතියට පිටුපෑවේ නැහැ. කොහොම නමුත් ෂෙල්ටන් හිමාලයේ භාවනා කලාය කියපු චන්න මහත්තයා තමයි ඔය. දැන් ෂේල්ටන්ම ගිහින් කතා කරලා බලන්න. මං යන්නම්" පොඩි හාමුදුරුවන් ෂෙල්ටන් වෙතින් සමුගත්තේය. ෂෙල්ටන් හෙමින් හෙමින් එම යෝගාවචරයා වෙත සමීප විය.

"ඔබ තුමාව දැන ගන්න මම බොහොම කැමැත්තෙන් හිටියේ ..."

ෂෙල්ටන් වචන එකින් එක පිළිවෙලට හසුරුවමින් පැවසීය. මේ වියපත් පුද්ගලයා අඩක් හිස හරවා ෂෙල්ටන් වත යන්තමට හිනාවක් පෑවේය.

"ඔය ළමයා කවුද?" ඔහුගේ පෙනුම කෙසේ වතුද කටහඬේ ප්‍රසන්න බවක් ඇතැයි ෂේල්ටන්ට වහා හැඟින.

"මං මේ පන්සලේම නතර වෙලා ඉන්න කෙනෙක්" යයි කෙටියන් පැවසූ ෂෙල්ටන්, "ඔබතුමා හිමාලයේ භාවනා කරපු කෙනෙක් මට දැන ගන්න ලැබුනා. මාත් භාවනාව ගැන ගොඩක් උනන්න්දු වෙන කෙනෙක්. ඔබ තුමා කොච්චර කලක් එහෙ ගත කළාද?" යයි විමසුවේ සිත තුල සීග්‍රයෙන් පිබිදී එන උනන්දුව තුලිනි.

"දරුවා භෞතික වශයෙන් හිමාලයට යාමේ වගැත්කමක් නැහැ. ඒක දඩයම් කාරයෝ මංකොල්ල කාරයෝ කරන දෙයක්. ඒ නිසා බෞතික වශයෙන් කරන ගමන් බිමන් වැදගත් නැහැ. නමුත් භාවනාවෙන් චිත්ත ශක්තිය පුබුදුවා ගත්තොත් අපිට පුළුවනි මේ විශ්වයේ ඕනෑම තැනකට ඒක මොහොතකින් යන්න."

ඔහු කී දෙය වඩාත් පැහැදිලි කරගැනීමට සිත ෂෙල්ටන් තව ටිකක් ඔහුට සමීප විය.

"ඒ කියන්නේ මහත්තයා සිතින් විතරක් නේ?"

"නැහැ ළමයා අපේ ශරීරය මෙහෙ තියෙද්දීම ප්‍රකෘති වශයෙන් වුනත් ලෝකේ ඕනෑම තැනකට යන්න පුළුවන්" ෂෙල්ටන් දෙස සෘජු බැල්මක් හෙලමින් හේ පැවසීය.

"කොහොමද ඒක ඔප්පු කරන්නේ?"

"එතකොට අපට එතන යම් දෙයක් සිද්ධ වෙනවනම් ඒක ඒ විදියටම බලන්න පුළුවන්. ඒ වගේම අපට එතනට බලපෑම් කරන්නත් පුළුවන්. දැන් අපිට මෙතන ඉඳගෙන නුවර දළදා මාලිගාව සිද්ද වෙන දේවල් ඒ විදියටම බලාගන්න පුළුවන් කියන එකයි"

සුරඟන කතාවකට බලවත් උනන්දුවෙන් සවන් යොමු කර ගෙන හිඳින කුඩා දරුවෙකු මෙන් ෂෙල්ටන් මේ වියපත් පුදගලය දෙස බලා සිටියේය.

"ඒ වගේම පුතා මේ ලෝකේ පවතින යම් යම් ශක්ති පදාර්ථ සිත දියුණු කරගැනීම තුලින් අපිඅට පුලවන් ග්‍රහණය කරගන්න. එකට තමයි විශ්ව ශක්තිය ආරෝපණය කර ගන්නවා කියන්නේ"

"අර බලන්ගොඩ මහනායක හාමුදුරුවොත් ඔහොම කතාවක් කියනවා. ඔඅක තමයි මටත් දැනගන්න ඕනි. කොහොමද ඕක කරන්නේ?" ෂෙල්ටන් අතුරු ප්‍රශ්නයක් නැගිය.

"ඒක එකපාරටම තේරුම් කරන්න අමාරුයි ඒ නිසා මං පුංචි නිදර්ශනයක් කියන්නම්. ලෝකේ හැම තැනම විද්‍යුත් තරංග තියෙනවා. මේ විද්‍යුත් තරංග ග්‍රහණය කරගත හැකි රුපවාහිනියක් ගුවන් විදුලි යන්ත්‍රයක් වගේ දෙයක් තිබිල ඒවා අදාල විදියට ක්‍රියාත්මක කලොත් ඒ රූප ශබ්ද දෙකම ඒවාට ඇතුල් කරන්න පුළුවන්. අපේ සිතේ තියෙන ශක්තිය අවශ්‍ය විදියට පුබුදුවා ගැනීමෙන් විශ්ව ශක්තිය අපි තුලට පිවිසුවා ගැනීමත් හරියට අන්න ඒ වගේ දෙයක්"

"ඒ කියන්නේ ගුවන් විදුලි තරංග වගේ තවත් තරංග විශේෂයන් මේ ලෝකයේ පවතිනවද?" ෂෙල්ටන් ඇසීය. "ඒවා තරංග වශයෙන්ම හදුන්වන්න බැහැ. ශක්ති පදාර්ථ අර ගුවන්විදුලි තරංග වගේ භෞතික ඥානයට ගොනු කරන්න බැහැ. එකයි නවීන විද්‍යාවට ඒවා අහු නොවෙන්නේ. නමුත් භාවනාව මාධ්‍යක් කරගෙන අධ්‍යාත්ම ශක්තිය දියුණු කර ගැනීමෙන් ඒ ශක්ති පදාර්ථ හසු කරගන්න පුළුවන්"

මේ තැනැත්තා බාහිර වශයෙන් බෙහෙවින් අවුල් සහගත තත්වයක් පල කළාද අධ්‍යාත්මික වශයෙන් කිසියම් ප්‍රබල තත්වයක පවතින බව ෂේල්ටන්ට පෙනිණ. එසේම තමන් යායුතු මාර්ගයට පැහැදිලි මග පෙන්න්වන්නෙකු හමුවුයේ යයිද ඔහුගේ සිත ප්‍රීතියෙන් ඔද වදී තිබිණ.

"මාත් ඕවා ගැන හුඟක් උනන්දු වෙන කෙනෙක් ඔබ තුමාට බැරිද මට තව ටිකක් ඔය ගැන පැහැදිලි කරලා දෙන්න."

"මිනිස් මොලයේ පවතින ශක්තියෙන් සියට දහයකටත් වඩා අඩු ප්‍රමාණයක් අපි කවුරුත් ප්‍රයෝජනයට ගන්නේ. හරියට අක්කර ගණනාවක ඉඩමක කොනකට වෙන්න පුංචි ගෙයක් හදාගෙන පදිංචි වෙලා ඉඩමේ අනික් ප්‍රදේශය වල බිහිවෙන්න ඇරලා බලාගෙන ඉන්නවා වගේ. එත් ඔනිකමක් තියෙනවනම් කෙනෙකුට පුලුඅවන් අර වල බිහිවුන කොටස ශුද්ධ කරලා විශාල වගාවක් දල එකේ ප්‍රයෝජනය ගන්න. විශ්වයේ අප්‍රමාණ ශක්ති ප්‍රවාහයන් යොදවල අසමසම විපලවයක් උනත් කරන්න."

"කොහොමද මහත්තය අපි ඒ දේට යොමු වෙන්නේ?" ෂෙල්ටන් ඇසීය.

"භාවනාවෙන් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ සඳහා භාවනාව ගැඹුරටම ප්‍රගුණ කල යුතුයි" චන්න මහත්තය කීය.

"ඒ කියන්නේ මහත්තයට ඒ ශක්ති ප්‍රවාහ මුණ ගැහිලා තියෙනවද?"

"මට සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මෑත අතීතයේ හිටපු තවත් ප්‍රසිද්ධ කීප දෙනෙක්ම මට හම්බුනා. මං ඒ ය එක්ක විස්තර කතා කරලත් තියනවා. සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ අදත් ඉන්නේ කම්පාවෙන්" චන්න මහත්තයා කීය.

"ඒ ඇයි?" ෂෙල්ටන් අයාගත් මුවින් යුතුව ඇසීය "එතුමා ගැන ඉතිහාසයේ ලියවිලා තියෙන කතා පට්ටපල් බොරු කියල එතුමා මාත් එක්ක කියල තියෙනවා" චන්න මහත්තයා සන්සුන් ස්වරයෙන් කීය.

"මට ඔබතුමාගේ අනුගාමිකයෙක් වෙන්න බැරිද?"

ෂෙල්ටන් අසත්ම චන්න මහත්තයා මුවට මද සිනාවක් පිවිසුණි.

"තව කෙනෙකුගේ අනුගාමිකයෙක් වෙලා ඔය තත්වය ලබන්න බෑ දරුවා. තමන් තුල වූ ශක්තිය පුබුදුව ගැනීමෙන් විතරයි ඔය තත්වයට ලංවෙන්න පුළුවන්"

එහෙත් කලක් එංගලන්තයේ ද ජීවත් වූ වෘතියෙන් ගණකාධිකාරිවරයෙකු සිට දැන් සියල්ල හැරදා භාවනානුයෝගිව වෙසෙන මේ අපුරු පුද්ගලයා තමන්ට නියම මග පෙන්වන්නෙකු වියහැකි බව ෂෙල්ටන් තදින්ම විශ්වාස කළේය. ඒ අනුව ඔහුගෙන් පාර අසාගෙන තමා මේ දක්වා අපේක්ෂා කල මගට පිවිසෙන්නට ෂෙල්ටන් දැඩිව අදිටන් කරගත්තේය.

1 comment:

  1. මේ පුද්ගලයින් මම දකින්නේ සිදුහත් තවුසාණන් සත්‍ය ගවේෂනය කරද්දි මුණ ගැහුණු ආලාර කාලාම, උද්දකරාම පුත්ත තවුසන් වගේ. මොන තරම් බුද්ධිමත් වුණත් අවසාන ප්‍රතිඵලය ඔවුන්ගේ දර්ශනයෙන් බොහෝ සේ වෙනස්

    ReplyDelete