අටවන කොටස

නාඅරණ ඔස්සේ හමා ආ අළුයම සිහිල් සුළඟ සිරුරට එක් කළේ මහත් වූ සුවදායකත්වයකි. ඒ සිසිල් සුළඟට මුසුව ධර්ම් ශාලාව තුළට ගලා ආ නාමල්වල ගුප්ත මිහිරි සුගන්ධය හොඳහැටි ඉහළට ගත් හුස්මක්ද සමගින් ෂෙල්ටන් සිය සිරුරට උරා ගත්තේය. මහත් වූ අස්වැසිල්ලකට අමීප වූ හැඟුම් සමුදායකින් ඔහුගේ සිත පිරී ගියේය.

පසුදින අළුයමට පහන් වෙමින් තිබිණි. උදෑසනින්ම ක්වුදෝ බිම අමදින හඬක් ෂෙල්ටන්ට ඇසුණි. වහා මෙතෙක් වැතිර හුන් පන් පැදුරෙන් පිබිදුණු ෂෙල්ටන් ඔබ්බෙන් වූ නා අරණ දෙස විමසිලිමත්ව බැලීය. පාන්දරින්ම අවදිව හුන් නාරද තවුසා නා අරණ අමදිමින් සිටියේය. පැදුර සීරුවට හකුලා කෙටි බිත්තියට හේත්තු කළ ෂෙල්ටන් හිමින් හිමින් නා අරණ දෙසට පිය මනින විට නාරද තුමා සිය කටයුත්ත නිමවමින් සිටියේය. උදය ආහාරයෙන් පසු දෙදෙන යළි පිළිසඳරට වැටුනහ. ෂෙල්ටන් තුළ වූයේ දැඩි අපෙක්ෂා සහගත බවකි. මේ තවුසා තමන්ගේ විමුක්ති මාර්ගය දක්වා වැටී ඇති පාර නිසි පරිදි දක්වන්නෙකැයි ෂෙල්ටන්ගේ හිත කීය.

"ඔබතුමා ඔය හිමේ ඉන්න කාලයේ
ධයානලාභීන් එහෙමත් වැඩ හිටියද එහේ?" ෂෙල්ටන් ඇසුවේ කුතුහලයෙන් යුතුවය.

"මම ඒ ගැන නම් කියන්න දන්නේ නෑ. වලහා කාපු හමුදුරුවො කියලා හාමුදුරු නම්ක් නම් ඒ කාලේ ඔය හිමේට වෙලා භාවනා කරපු බව දන්නවා. ඒ ඇර තවත් අය හිටියද කියන්න මං හරියට දන්නේ නෑ දරුවො."

"වලහා කාපු හාමුදුරුවො?" ෂෙල්ටන් එයම ප්‍රතිරාවය කළේ තමා තුළ උපන් කුහුල එපරිද්දෙන්ම පිට කරමිනි.

"මං ඔය හිටපු කාලෙ, ඒ කියන්නෙ දරුව එකදාස් නමසීය පන්ස් ගණන්වල තමයි ඔය කියන හාමුදුරුවොත් ඒ හිමේ හිටියේ. ඒ කාලෙ හිමේදි මූණ වලහෙක් කාපු ලොකු කැළලක් තිබුණා. හිමේ පහළ ගම්වල කවුරුත් ඔය හාමුදුරුවන්ට වලහා කාපු හාමුදුරුවෝ කියල තමයි කිව්වේ. අදත් එහෙම කිව්වම ඒ පැත්තේ මිනිස්සු හැමෝම දන්නවා."

ෂෙල්ටන් සාවධානව අසා සිටියේය. එහෙත් තමාගේ සිතේ පවතින සිහිනය සැබෑ කර ගන්නට මාර්ගය තවමත් මේ තවුසා වෙතින් අසා දැනගන්නට අවකාශ ලැබුනේ නැත.

"ඇත්තටම මං මේ ඔබතුමාගෙන් අහන්නෙ චිත්ත ශ්ක්තිය දියුණු කරගන්න ඔය සිරිපාද හිමේ තරම් හොඳ තැනක් තවත් නැතිලු නේද?" ෂෙල්ටන් අවශ්‍ය තැනට කතාව යොමු කරමින් ඇසීය.

නාරද තුමා සෘජුව මේ තරුණයා දෙස බැලීය. ඔහු තුල පවත්නා උද්යෝගය ඔහුගේ දෑසින් ද පිළිබිඹු වේ.

"ඒක ඒ විදිහමයි කියලා කියන්න අමාරුයි පුතා. තමන්ගේ සිත පහදවා ගන්න සිත දියුණු කරන්න ඔනෑම ආරන්‍යයක් සුදුසුයි කියලයි මං නම් හිතන්නේ."

"එතකොට ඔබ තුමා අවුරුදු දොලහක්ම එහේ හිටියාය කිව්වේ?" ෂෙල්ටන් ඇසීය.

"ඔව් මං 1956 ඉඳල 1968 වෙනකල් එහේ උන්නා තමයි. මං ඒ කැලෑවට වෙලා අනාපාන සති භාවනාවයි, මෛත්‍රී භාවනාවයි ප්‍රගුණ කලා."

නාරද තුමාගේ දෙතොලෙහි නිරවුල් ප්‍රසන්න සිනහවක් නැගී තිබිණ. මේ තරුණයා විමසන එම අතීතය දෙස බලන විට ඔහුගේ සිතට ඒ සියළු දේවල් මේ මොහොතේද එලෙසින්ම මැවී පෙනෙන්නාක් මෙන් දැනේ.

"එතකොට ඔබතුමා සමථ භාවනා මිසක් විදර්ශනා භාවනා වඩල නෑනෙ?" ෂෙල්ටන් මහත් කුතුහලයෙන් යුතුව විමසීය.


"විදර්ශනා වඩන්න නිකම් බැහැ දරුවෝ. ත්‍රිලක්ෂණය දකින මට්ටමට ඒකට සමථ භාවනාව තමයි හිඳින් ප්‍රගුණ කරන්න ඕනෙ. ඒ නිසා සමථ භාවනාව සුළුකොට හිතන්න එපා."

ෂෙල්ටන් යළි කල්පනාවට වැටිණි. සමථ හෝ විදර්ශනා වැඩීම නොව ෂෙල්ටන්ගේ සිත නැඹුරු වී තිබුණේ සිත දියුණු කළ හැකි යෝග ක්‍රම කෙරෙහි ය.

"මට වුවමනා සිත දියුනු කර ගැනීමේ යෝග ක්‍රමයක් හොයන්න යි" ඔහු සිය අදහස සෘජුව කියා සිටියේය.

"බුදු හාමුදුරුවෝ යෝග කියල හැඳින්වූයේ භාවනා ක්‍රම. ඒ නිසා බෞද්ධයන් හැටියට අපිට වෙන වෙන යෝග ක්‍රම වුවමනා නෑ. සංසාර විමුක්තිය ලබන්න පුළුවන් බෞද්ධ භාවනා ක්‍රම තමයි කරන්න ඕනේ."

මින් ෂෙල්ටන් ගේ සිතට ඇති වූයේ නොසන්සුන් බවකි.

"මං සංසාර විමුක්තිය සඳහාම නෙමෙයි ලෝක අර්ථ චරියාව සඳහායි සිත දියුණු කර ගන්නේ..."

නාරද තුමා යළිදු ෂෙල්ටන් දෙස සෘජු බැල්මක් හෙලීය. මොහුගේ කතාවට අනුව මොහු ධර්මගවෙෂී කෙනෙකු මිස බෞද්ධ ශික්ෂාවන්හි හැඩ ගැසුනු කෙනෙක් නොවන බව පැහැදිලිය. එබැවින් මේ පිළිබඳව තවත් යමක් පැවසීම අවශ්‍ය බවක් නොපෙනේ.

"දරුවා කවදා විතරද හිමේ යන්න බලාපොරොත්තු වෙන්නේ?" නාරද තුමා සන්සුන් හඬින් විමසීය.

"අවස්ථාවක් ලැබුන ගමන්ම"

"ඔය ගමන සුළුවට හිතන්න එපා දරුවා. සිරිපාද අඩවියේ ඔය පලාබද්දල, බලවන්, අඳිරිල්ල වගේ මිනිස් වාස තියෙන ප්‍රදේශවල ඉඳම් මොනවා හරි කරනවා වගේ නෙමයි උඩට ගියහම අන්තරාකාරී බව වැඩියි. හුඟාක් අභියෝගවලට මූණ දෙන්නත් සිද්ධ වෙනවා. හරියට කමටහන් ගන්නේ නැතුව එක පාරටම ඔය වගේ තැනකට ගිහින් හිතුමනාපේ භාවනා ක්‍රම ප්‍රගුණ කරනවයි කියන එක හරිම භයානකයි. මානසික ආබාධ වුනත් හැදෙන්න හිඟක්ම ඉඩ තියෙනවා. එහෙම වුනොත් අපරාදේ වටිනා මනුස්ස ජීවිතේ."

නාරද තුමා කීවේ මෙහි බරෑරුම් බව තත්‍ය පරිද්දෙන්ම දන්නා බැවිනි. එවන් අතිශය දුෂ්කර දිවියක් මෙබඳු සියුමැලි තරුණයෙකුට කිසිසේත් උචිත හෝ ඔරොත්තු නොදෙන බව හොඳින් දන්නා නිසාය. ඒසේ නම් ඊට පෙර මේ සඳහා ඔහු හැඩ ගැසිය යුතු පිළිවෙළක් ඇත.

එහෙත් ෂෙල්ටන් සිතුවේ අනෙකකි. තම ගමනට මෙම තවුසා මුළුමනින්ම ආශිර්වාද කරනු ඇතැයි යන්න ඔහුගේ අපේක්ෂාව වී තිබිණි. එහෙත් දැන් ඒ වෙනුවට
සිදුව ඇත්තේ වෙනත් දෙයකි.

7 comments:

  1. රැපා මචන් දිගටම ලියපන්...මම කියවනව!

    ReplyDelete
  2. බොහෝ විට ෂෙල්ටන්ගේ මේ හිතුවක්කාරකම් වලට හේතුව කුඩා කාලයේදි නිසි මග පෙන්වීමක් නොලැබුණු නිසා වෙන්න ඇති.
    බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල...

    ReplyDelete
  3. සියාතු, තව කෙනෙකුට හිතෙයි, එක්කෙනෙක් මේවගේ දෙයක් කරන්න යාම හිතුවක් කර කමක් වෙන්නේ කොහොමද කියල. ඔතන ෂෙල්ටන් මේ වගේ මාවතක ගමන් කිරීම හිතුවක් කර කමකටද, පෙර සංසාරෙන් ආ පුරුද්ද නිසාද, සත්‍ය සෙවීමද කියන කාරණයට නිශ්චිත පිළිතුරක් දෙන්න අමාරුයි නේද?

    ReplyDelete
  4. ෂෙල්ටන් යන්න හදන්නේ මේ තුන් ලෝකෙම තියන හොඳම පාරෙ.ඒ පාරෙ යන්න පතාගෙන එන්න ඕනේ සන්සාරෙන් සන්සාරෙට.

    ReplyDelete
  5. වඩා නිවැරදිව කිව්වොත් ෂෙල්ටන් තවම උත්සාහ කරන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ, හරි පාර තෝරාගැනීම සහ ඒ පාරේ නොසැලී ගමන් කිරීම තමයි දුෂ්කරම කාර්යය.

    ReplyDelete
  6. රැපා, මචං ෂෙල්ටන්ගෙ කතා වලින් මට පේන්නෙ ඔහුට මුලින් සංසාරයේ තියන දුක අවබෝධ වෙලා නැති බව. ඔහුට තියෙන්නෙ ලෞකික අරමුණක් කියල මට හිතෙනවා.

    ReplyDelete
  7. ඔව් එක ෂේල්ටන්ම කියනවනේ මෙන්න මෙහෙම, "මං සංසාර විමුක්තිය සඳහාම නෙමෙයි ලෝක අර්ථ චරියාව සඳහායි සිත දියුණු කර ගන්නේ..."

    ReplyDelete