නමවන කොටස

අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ
ආනන්ද මෛත්‍රී මහ නාහිමියන්
භාවනාව පිළිබද විශේෂයෙන් යොගී ක්‍රම පිලිබදව තව තවත් කරුණු සොයා බලන්නට ෂෙල්ටන් තුල නැගෙමින් පැවති ආශාව සීග්‍රයෙන් දළුලන වෘක්ෂයක් මෙන් වැඩෙන්නට විය. මේ නිසාම මේ සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබෙන කාගෙන් හෝ දැන විමසා ඉන්පසු සිරිපා හිමයට යන අදහස ඔහු තුල ඇති වුනි.

අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් යලි බැහැදැකීමට යා යුතුය යන අදහස ෂෙල්ටන් තුල පැන නැගුනේ හදිස්සියේමය. මෙරට වැඩ සිටි ප්‍රමුඛතම ගණයේ සිල්වත් ගුණවත් පඩි රුවනක් වූ එම න හිමියන් වෙතින් තමන්ට අවශ්‍ය දේ පිලිබඳ මුලික අවබෝධයක් ලබා ගත හැකි යැයි නිශ්චය කළ ෂෙල්ටන් අගනුවරින් අළුයමින්ම පිටත්ව බලන්ගොඩ කරා නික්මුණි.
ඔහුගේ වාසනාවකට මෙන් ආනන්ද ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් එදා පන්සලෙහි වැඩ සිටියහ.

නා හිමියන්ට වැඳ එකත්පසෙක වැඩි වූ මෙම තරුණයා නා හිමියන්ගේ පින්බර මුහුණ දෙස මහත් ඕනෑකමින් බලා සිටියේය. තමා ආ කාරණයට පිවිසීමට ඔහුට තවත් වෙලාවක් ගත විය.

"ස්වාමින් වහන්ස, මට භාවනාව ප්‍රගුණ කරන්න ලොකු වුවමනාවක් තියෙනවා. ඔබ වහන්සේගෙන් මට භාවනාව ගැන විස්තර දෙන ගන්න ඕනේ. භාවනාව වන්න නම් බුද්ධාගම ගැන හොදින් ඉගෙන ගෙන ඉන්න ඕනේ ද?" ෂෙල්ටන් නාහිමියන් දෙස බලාගත් වනම විමසීය.

නාහිමියන් මදක් නිහඬව මෙම තරුණයා දෙස බලා සිටියේය. ඔහුගේ මුහුණේ බලාපොරොත්තු සහගත බවක් සහ ඊට යටින් දිදුලන අධිෂ්ඨාන පූර්වක බවක්ද පෙනේ. මොනවා වුවත් මොහු නව යොවුන් තරුණයකු බව නම් පැහැදිලිය. ඔහු වර්තමානයේ වෙසෙන බොහෝ තරුණයන්ට වැඩ වෙනස් සිතුම් පැතුම් වලින් යුත් අයෙකු බව යම් පමණකට හෝ සිත ගැනීමට පුළුවන. නාහිමියන් තමා හාන්සි වී සිටි අසුනෙහිම සිය කය ඍජුකොට වාඩි වුනි.

"භාවනාව වඩන එක බොහොම හොඳ දෙයක්. භාවනාව බොහොම පුළුල් දෙයක්. එක බුද්ධාගමට විතරක් අදාල වෙන දෙයක් නෙමයි දරුවා. භාවනාව කියන්නේ සිත හසුරුවා ගන්න එක. මේකෙන් මෙලොවට වගේම පරලොවටත් යහපත් සලසා ගන්න පුළුවන්".

ෂෙල්ටන් දැහැනකට සම වැදුනාක් බඳුව නාහිමියන් වෙතින් දෙනෙත් ඉවත් නොකරගෙනම බල සිටියේය.

"භාවනාවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, කියන තිලක්ෂණය දැකල සංසාරික ස්වභාවයේ හේතු ප්‍රත්‍යන් අවබෝධ කරගෙන සංසර ගමන කෙටි කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ ප්‍රතිපදා මාර්ගය නම් තියෙන්නේ බුදු දහමේ විතරයි. ඒ වගේම බෞද්ධ භාවනා ක්‍රම මගින් වුනත් තව හුගාක් දේවල් කරන්න පුළුවන්".

මහනාහිමියන් යළිඳු සිය හාන්සි පුටුවෙහි සුව පහසු ලෙස හාන්සි වුනි. මහනාහිමියන් දෙස මහත් වුවමනාවෙන් බල සිටි ෂෙල්ටන් ගේ කුහුල තවත් වැඩිවිණ.

"මොනවාද ස්වාමින් වහන්ස ඒ?" ෂෙල්ටන් අතුරු ප්‍රශ්නය නැගුවේ ඒ බලවත් වූ උනන්දුව අතරිනි.

"බෞද්ධ භාවනා ක්‍රම කොටස් දෙකයි. සමථ භාවනා සහ විදර්ශනා භාවනා තමයි ඒ කොටස්. සමථ භාවනාවෙන් කරන්නේ සමාධියෙන් සිත් දියුණු කිරීම, විදර්ශනා භාවනාවෙන් වෙන්නේ විදර්ශනා ඥානය දියුණු වීම. සමත භාවනාවෙන් අපි සිත එක තැන රඳවා ගන්න පුරුදු වෙනවා. නිතර නිතර සමථ භාවනාව වඩන කොට සිතේ සම්ධියක් ඇති වෙනවා. සමාධියත් එක්කම වැඩෙන්නේ නුවන. ඒ එක්ක සිත කිළුටු කරන ඔය කමච්ජන්ද වගේ පංචනීවරණ ධර්ම ටිකින් ටික තුනී වෙලා යනවා. ඊට පස්සේ සිතේ අමුතුම සැහැල්ලුවක් එක්ක ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ සිත අනිත් අයව අවනත් කරගැනීමේ ශක්තිය ඇතිවෙනවා."

ෂෙල්ටන් තමා එතෙක් වාඩි වූ හුන් නොඋස් බැංකුව තව ටිකක් මහ නා හිමයන් වෙතට සමීප කරා ගත්තේය. තමා මේ දකිමින් සිටින්නේ තමන් අපේක්ෂා කළ සිහිනයම නොවේද?

"ඊට පස්සේ අපේ හාමුදුරුවනේ?" මහනාහිමිට පියවර කීපයක් සමීප වූ ෂෙල්ටන් විමසීය.

"ඔය ශක්තිය ඔස්සේ රූපාවචර, අරූපාවචර ධ්‍යාන ලබල ඊළඟට අභිඥා ඇති කරගන්න පුළුවන්. ඒ ඔස්සේ ධ්‍යාන බල ලබන්නත් පුළුවන්. නමුත් ධ්‍යාන ලැබීමත් නිවන් අරමුණු කිරීමත් අතරේ සම්බන්ධයක් නැහැ"

"ඔබ වහන්සේ ඔය බෞද්ධ භාවනා ක්‍රම අරුණම තවත් භාවනා ක්‍රම දන්නවද?" ෂෙල්ටන් අතුරු ප්‍රශ්නයක් නැගිය.

"අයි නැත්තේ! මං ඉන්දියාවේදී ඒ හුගාක් භාවනා ක්‍රම හදාරලා තියෙනවා ලෞකික වගේම පාරලෞකික යහපතත් ඒවායින් ලබන්න පුළුවන්. එත් නිවනට යන්න නම් ඒවා නෙමයි ප්‍රගුණ කරන්න ඕනේ. බෞද්ධ ක්‍රම විතරයි."

නාහිමියන් එසේ කිව්වත් චිත්ත ශක්තිය යෝග ක්‍රම පාරලෞකික දේවල් පිළිබද උනන්දුවක් දැක්වූ ෂෙල්ටන් ගේ සිතේ මහනාහිමියන් පැවසූ අවසන් වැකිය සනිටුහන් වුයේ නැත.

"අදටත් ඒ වගේ භාවනා ක්‍රම ප්‍රගුණ කරපු අය ඉන්නවද ස්වාමින් වහන්ස? ෂෙල්ටන් විමසුවේය මහත් උනන්දුවෙනි".

"අපොයි මොකද නැත්තේ? ඍදධි බලයෙන් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් විද්‍යාධරයන් රෝග සුව කරන්න පුළුවන් විද්‍යාධරයන් ගුප්ත ශාස්ත්‍ර ප්‍රගුණ කරපු අය හිමාලයේ අදටත් වාසය කරනවා".

මහත් තෘප්තිමත් සිතකින් යුතුව යලි නාලන්දාරාමයට පැමිණි ෂෙල්ටන්ට එදින අසන්න ලැබුනේ තවත් විස්මය දනවන සුළු පුවතකි. එනම් වරින් වර හිමාල වනයට ගොස් භාවනා කරන උගත් ශ්‍රී ලාංකිකයෙකු වරින් වර නාලන්දාරාමයට පැමිණ යන බවයි.

1 comment:

  1. තවමත් ෂෙල්ටන් ඉන්නේ අඳුරේ අතපත ගාමින්. ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගෙ හමුවීම ඔහුගෙ ජීවිතයේ එක් සංධිස්ථානයක් විය හැකියි.

    ReplyDelete