පහළොස්වන කොටස

සිය සොයුරිය විවාහ කර දෙන්නට ලැබීම ෂේල්ටන්ගේ සිතට සැහැල්ලුවක් දැනවීමට සමත් විනි. ඇයට දායාද වශයෙන් වැඩියමක් රැගෙන දීමට ඔවුන්ගේ පියාට සවියක් තිබුනේ නැත. සිය පළමු බිරිඳට අයත් කණකර බඩුවලට අමතරව මහන මැෂිමක් සහ තවත් සුළු සුළු දේවල් ලයිනේරිස් සිය වැඩිමහල් දියණිය සඳහා සුදානම් කර දුන්නේය.

තම ජිවිතයේ ඉදිරි කාලය භාවනාව වෙතම යොමුකර සිය අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට ෂෙල්ටන් දැඩිව තීරණය කරගෙන තිබිණි. ඔහුට මේ සම්බන්ධයෙන් පරමාදර්ශී පුද්ගලයෙකු වුයේ චන්න මහත්තයාය. එනිසා නිතර නිතර ඔහු හමුවීම ෂේල්ටන්ගේ ජිවිතයේ එකම සතුට බවට පත්ව තිබිණි.

මේ කාලය වන විට ෂෙල්ටන් තුනටියේ වේදනාවකින් පෙළෙමින් සිටියේය. නාලන්දාරාමයට චන්න මහත්තයා පැමිණි විට සුපුරුදු පරිදි ඔහු හමුවන්නට ගිය ෂෙල්ටන් නිරතුරු ඔහුගෙන් භාවනා සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම පුරුද්දක් කරගෙන තිබිණි. මේ අතර සිය රෝගාබාධය පිළිබඳවත් ඔහුගෙන් යමක් දැනගත හැකිදැයි ෂෙල්ටන් කල්පනා කරන්නට විය.

"ටික දවසක ඉඳන් පොඩි අසනීපයක් තියෙනවා" ෂෙල්ටන් කීවේ කුහුලකින් යුතුවය. චන්න මහත්තයා "පොඩ්ඩක් ඔහොම ඉන්න බලන්න" යි පවසා ෂෙල්ටන්ගේ අතක මැණික් කටුවෙන් අල්ලාගෙන ඔහුගේ නාඩි පරීක්‍ෂා කරන්නට පටන් ගත්තේය.

"කොඳුඇට පෙළේ අමාරුවක්" චන්න මහත්තයා හිස සලමින්ම පැවසිය.

ෂෙල්ටන්ට දැනුන සතුට නිමක් නැත. සිය රෝගය සුව වුනාක් බඳු හැඟීමක් ඔහුට දැනින. චන්න මහත්තයා මෙය අවබෝධ කර ගත්තේ සිය චිත්ත ශක්තියෙන් බව ශේල්ටන්ට විශ්වාසය. තාමත් කෙදිනක හෝ ය යුත්තේ මේ මගමය. කෙසේ වුවද චන්න මහත්තයා රෝගය මිස රෝගයට ප්‍රතිකාර පැවසුවේ නැත.

නාලන්දාරාමය අවට වෙසෙන්නන් බොහෝ දෙනෙකුවද ෂෙල්ටන් හදුනාගෙන සිටියේය. ඒ හැම දෙනෙකුම පහේ ඔහුට හිතවත්ය. ෂෙල්ටන් මෙන්ම බණ්ඩාරනායක මහතාත් කෑම කෑවේ නුදුරින් වූ කඩයකිනි. බොහෝ අවස්ථාවල මේ හිතවතුන් හමුවන්නට ගිය ෂෙල්ටන් ඔවුන් සමග අල්ලාප සල්ලාපයෙහි දීම පුරුද්දක් කර ගත්තේය. මෙබඳු එක් හිතවතෙකුටද කලක සිටම පැවත උදරාබාධයක් විය. චන්න මහත්තයා වෙත මොහුවත් යොමුකර එම රෝගය පිළිබඳව දැන ගැනීමේ කැමැත්තක් ෂෙල්ටන් තුළ හට ගත්තේය. ඊළඟ දිනයෙක චන්න මහත්තයා පැමිණි පසු ෂෙල්ටන් මිතුරා වෙත දිව ගියේ බලවත් නොඉවසිල්ලකිනි.

පරණ වී ඉරී පොඩි වී ගිය ඇඳුමකින් සැරසී එයටම ගැළපෙන ඔලොගුවක ආකාරයේ රෙදි බැගයක්ද උර දරාගෙන, රෙදිපටි වලින් අසීරුවෙන් රඳවාගත් උපැස් යුවලක්ද පැළඳ චන්න මහත්තයා නාලන්දාරාමයේ ධර්ම ශාලාවෙහි කොරිඩොවෙහි බිම වැඩි වී සිටියේය.

මිතුරාගේත් ෂෙල්ටන්ගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලු ඔහු, දෙදෙනාටම වාඩි වන ලෙස හස්ත මුද්‍රාවෙන් දැක්වීය. මිතුරා කිසියම් රෝගයකින් පෙලෙන බව ඒ මොහොතේ ෂෙල්ටන් දන්වා සිටියත් චන්න මහත්තයා සුපුරුදු පරිදි ඔහුගේ අතගෙන නාඩි පරීක්‍ෂා කරන්නට විය.

"උදරාබාධයක් නේද?" චන්න මහත්තයා පවසද්දී ෂෙල්ටන් සහ මිතුරා උනුනුන්ගේ මුහුණ බල ගත්හ. ශේලටන්ගේ මුහුණේ ජයග්‍රාහී සිනාවකුත්, මිතුරාගේ මුහුණේ පුදුමයකුත් ඇඳි තිබිණි.

"මේකට මොකද්ද මහත්මය කරන්න ඕනේ?" මිතුරා චන්න මහත්තයා දෙසට හිස නමා ගෞරව සම්ප්‍රයුක්තව ඇසීය.

"මේක කර්මජ රෝගයක්. වෙන කරන්න දෙයක් නෑ. පුළුවන් තරම් කුසල් කරන්න ලෙඩේ සුව වෙයි." චන්න මහත්තයා කීවේ නිවුණු හඬිනි.

ෂෙල්ටන්ගේ සිතෙහි චන්න මහත්තයා කෙරෙහි තිබු ප්‍රසාදය පමණටම, තමාගේ අරමුණ ඉටු කරගත හැකිය යන විශ්වාසය එන්න එන්නම ඉහල නැංවිණි. භාවනාව මගින් චිත්ත ශක්තිය පුබුදුවාගෙන ඒ ඔස්සේ රෝග හදුනා ගන්නටත් හැකියි ෂෙල්ටන් තදින්ම විශ්වාස කළේය. පිලික වැනි භයානක රෝග සුව කරන ශල්‍ය වෛද්‍යවරුන්, වෙනත් විශේෂඥය වෛද්‍යවරුන් ඔහුගේ මනස හමුවේ මැවී පෙනිණ.

ඔවුන් ඒ තත්වයට එලෙබෙන්නේ වෙහෙස මහන්සි වී ඉගෙන ගැනීම තුලිනි. තමාද යම් දිනෙක ඒ මගටම පැමිණිය යුතුය. ඒ ඉගෙනීමෙන් නොව භාවනාවෙනි. එය හරියටම නිවැරදිව පැවසුවහොත් ශ්‍රීපාදයට යන පොදු ජනප්‍රිය මාර්ගය හැටන් නල්ලතන්නි පාර වුවත්. පලාබද්දල, එරත්න වැනි තවත් බොහෝ අතුරු පාරවල් ඔස්සේ ද ශ්‍රීපාද කන්නද තරණය කිරීම වැනි යැයි ෂෙල්ටන් කල්පනා කළේය. එසේම මින් ඉදිරියට තම ඇඳුම පැළඳුම පවා වෙනස් කර සරම සහ ජාතික බැනියම අන්දිමටත් කිසිදා විවාහ නොවන්නටත් ඔහු තීරණය කළේය. එපමණක් නොව දැනට භවිතා කෙරෙන ෂෙල්ටන් යන නාම තමාට නොගැලපෙතයි සිතු ඔහු එය වෙනස් කල යුතු යැයි තදින්ම ධාරණය කර ගත්තේය.

1 comment:

  1. කතාවේ ඉතිරිය කියවන්න බලාගෙන ඉන්නේ....

    ReplyDelete